DAT දීමනාව ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති අදත් වර්ජනයේ

වෛද්‍යවරුන්ට වැඩි කෙරෙන DAT දීමනාව තමන්ටද ලබා දෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති අද (01) දිවයිනේ ප්‍රධාන රෝහල් 5ක පැය 4ක වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළා.

කෙසේ වෙතත්, කොළඹ ජාතික රෝහල ඇතුළු සෙසු රෝහල්වල මෙම වර්ජන අද දිනයේ ක්‍රියාත්මක වූයේ නැහැ.

වෛද්‍යවරුන්ට ලබාදෙන ප්‍රදාන හා නිර්බාධක දීමනාව හෙවත් ඩැට් දීමනාව රුපියල් 35,000කින් ඉහළ නැංවීමට රජය තීරණය කළ අතර, තමන්ට එම දීමනාව වැඩි කරන්නැයි ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් ඒකාබද්ධව අවස්ථා කිහිපයකදී වැඩ වර්ජන ක්‍රියාමාර්ගවල නිරත වුණා.

මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලදී සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය පාර්ශ්වයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් අද සිට යළි වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා.

ඒ අනුව මහනුවර ජාතික රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල හා බදුල්ල පළාත් මහා රෝහල තුළ අද උදෑසන 6.30 සිට පැය 4ක කාලයක් වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වුණා.

මේ හේතුවෙන් අද උදෑසන ප්‍රතිකාර ලබාගැනීම සඳහා එම රෝහල්වලට පැමිණි ජනතාව පත්වුණේ දැඩි අසීරුතාවකටයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *