E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයින් යොමුකරන්නේ නෑ, කිසිවෙකුට මුදල් ලබාදෙන්න එපා

E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා (Seasonal Worker) ලබාදෙන බව පවසා මුදල් වංචාකරන ජාවාරමක් ක්‍රියාත්මක බව වාර්තා වන බවත් ඒ සම්බන්දයෙන් කිසිවෙකුට මුදල් ලබා නොදෙන ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

එම කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) සෙනරත් යාපා පවසා සිටියේ දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා ලබාගැනීම සඳහා දකුණු කොරියාව හා ශ්‍රි ලංකා රජයන් දෙක අතර ගිවිසුම්වලට එළැඹිය යුතු බවත්, මෙතෙක් එවැනි ගිවිසුමකට එළැඹී නොමැති බවයි.

කෙසේ වෙතත් 2004 වර්ෂයේ සිට ශ්‍රි ලාංකිකයින් EPS- E9 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුකරනු ලබන බව ඔහු කියා සිටියා.

එමෙන්ම පෑස්සුම්කරු (වෙල්ඩර්) රැකියාව සඳහා පුද්ගලික අංශය මගින් E7-4 යන වීසා කාණ්ඩය යටතේ පසුගිය කාලයේ දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුකළ බව ඔහු කියා සිටියා.

පසුගිය කාලයේදී දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා (Seasonal Worker) සඳහා E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් යැවීම සම්බන්ධයෙන් විදේශ කාර්යාංශය සොයා බැලු අතර එහිදි අනාවරණය වුනේ කෙටි කාලීන රැකියා සඳහා ශ්‍රමිකයින් යොමුකිරීමට අවශ්‍ය නම් දකුණු කොරියාවේ ප්‍රාන්ත සමග ශ්‍රි ලංකාවේ පළාත් සභා අදාළ ගිවිසුම්වලට එළැඹිය යුතු බවයි.

මෙම E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුකිරීමට ශ්‍රි ලංකා රජය මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් කිසිඳු ගිවිසුමකට මෙතෙක් එළැඹී නොමැති බව ඔහු කියා සිටියා.

ඒ අනුව කෘෂිකාර්මික හා ධීවර රැකියා සඳහා E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් යොමු කිරීම සිදු වී නොමැති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) සෙනරත් යාපා කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පල කල අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) සෙනරත් යාපා “ අපිට තොරතුරු වාර්තා වෙනවා විවිධ පුද්ගලයින් E-8 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයින් දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා විශාල වශයෙන් මුදල් ලබාගන්නා බවට. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරනවා ශ්‍රි ලංකා රජය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ නෑ. ඒ වගේම දකුණු කොරියානු තානාපති කාර්යාලය දැනුම්දීලා තියෙනවා E-8 වීසා කාණ්ඩය යටතේ පෞද්ගලික අංශයට ශ්‍රමිකයින් යොමුකරන්න බෑ කියලා. මෙම රැකියා සඳහා යාමට කිසිඳු අයෙකුට මුදල් ගෙවන්න එපා. E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මුදල් ලබාදීමෙන් වලකින මෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. එසේ මුදල් වංචාකරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන්න ” යැයි අතිරේක සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර කටයුතු) සෙනරත් යාපා වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *