ImF සාකච්ඡා වල වර්තමාන ප්‍රගතිය වහාම රටට හෙලිකරන්න රනිල් ජනපති අනුරගෙන් ඉල්ලයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන වර්තමාන සාකච්ඡා වල ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරි දින කිහිපය ඇතුළත වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතුරුගිරියේදී පැවසීය.
තමා ජනපති සමයේ මූල්‍ය අරමුදල සමග හෝ වෙනත් කාරණයක් ගැන වැදගත් තීරණයකට එළඹුනා නම් ඒ ගැන රටට ප්‍රකාශ කළ බව කී හිටපු ජනාධිපතිවරයා නැවත පෝලිම් ඇති වෙනවාද? උද්ධමනය වැඩි වෙනවද? රුපියල බාල්දු වෙනවද? පොලිය වැඩි වෙනවාද? යන කාරණය ජනතාව දැනගත යුතු යැයි කීය.
ඇත්ත තත්වය හංගාගෙන ඉන්න එපා යැයි කී හිටපු ජනාධිපතිවරයා තමා ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛන වැරදි නම් එය නිවැරදි කරන ලෙසද අභියෝග කළේය.
ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත්ව සිටින කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා අතුරුගිරියේදී පෙරේදා (28)මෙම ජනරැළිය පැවැත්විණ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:-
ගෑස් සිලින්ඩරයෙන් ඉදිරිපත් කර තිබෙන මේ කණ්ඩායම අප පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.පාර්ලිමේන්තුවේ හිටපු සභානායක හිටපු අධ්‍යාපනය ඇමති සුසිල් ප්‍රේම ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිරිස ඉදිරිපත් කර සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වය ලබාදීම සඳහා සාගල රත්නායක මහතා ඉදිරිපත් කර සිටිනවා.
අප රට පාලනය සඳහා පළපුරුදු කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙනවා.පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ පළපුරුදු කණ්ඩායමක්.රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයාම පාර්ලිමේන්තුවට බාර වී තිබෙනවා.
අපගේ ආර්ථිකය ගැන තීන්දු තීරණ ගන්නේ පාර්ලිමේන්තුවෙන්.පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ අත්දැකීමක් පළපුරුද්දක් ඇති අය අවශ්‍යයි.නැතිනම් පාර්ලිමේන්තුවේ සිදුවන්නේ කුමක්ද?
පාර්ලිමේන්තුව තබා ප්‍රාදේශීය සභාවක්වත් නොදුටු අය පාර්ලිමේන්තුවේ තබන්න පුළුවන්ද?
මේ රටේ අනාගතය භාරගන්න පාර්ලිමේන්තුවට ගෑස් සිලින්ඩරයේ මන්ත්‍රීවරුන් පත් කරන්නැයි ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
අපේ රටේ ආණ්ඩුවක් බාරගන්න කිසිවකුත් නැති විටක මා ඉදිරිපත් වුණා.අනෙක් පක්ෂ වල අය දුවලා ගිහින් හැංගුණා. සමහරු මා සමග ආණ්ඩුව ගෙනයන්න එකතු වුණා.
වසර දෙකෙන් මේ තත්ත්වය සාමාන්‍යකරණය කරන්න ඉදිරිපත් වූ අය ගෑස් සිලින්ඩරය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වී තිබෙනවා.
මෙහි පළපුරුද්දක් ඇති කණ්ඩායමක් සිටිනවා.ඔවුන් ආර්ථිකය ගැන නොදන්නා අය නොවේ.අද ජනතාව ජීවත් වන්නේ මේ කණ්ඩායම නිසා.
අප රට භාර ගනිද්දි මූල්‍ය අරමුදලේ විශේෂ වැඩසටහනට 2022දී එකතු වුණා.අපගේ අවසන් ප්‍රතිඵලය කුමක්ද?
ණය තිරසර බව නැවත ඇති කරන්නට,ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් කරන්නට අපට හැකි වී තිබෙනවා. අප ඒ කාර්යභාරයට පියවරෙන් පියවරට ගියා.පළමුවෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළා.2023දී අප ඒ කටයුත්ත අවසන් කළා.ඉන් පසුව අප ද්විපාර්ශවික ණය පිළිබඳ මූලික එකඟතාවයකට පැමිණියා.අපට ණය දුන් රටවල් දහ අටක්ම ඊට සහභාගී කරගත්තා.මේ වසරේ ජුනි 26 වැනිදා ඒ වැඩසටහන අවසන් කළා.ඉන් පසුව අපි වානිජ ණය ගත් අය සමඟ සැප්තැම්බර් 19 වැනිදා මූලික එකඟතාවයකට පැමිණියා.එය අනුමත කළ බව ඔවුන් ඔක්තෝබර් 4 වැනිදා ප්‍රකාශයට පත් කළා. ජනාධිපති අනුර දිසානායක ඇතුළු කණ්ඩායම එය පිළිගත්තා.ඒ අනුව ණය හිමියන් සියලු දෙනාම අපට ණය ගෙවීමට කල් ලබා දුන්නා.
අපි එනකොට ආර්ථිකය හැකිලී තිබුණා.2023 තුන්වන කාර්තුවේ එනම් ජුලි, අගෝස්තු, සැප්තැම්බර් කාලයේදී අපි මේ රටේ ආර්ථික හැකිලීම නැවැත්තුවා.එදා සිට අද වනතුරු ආර්ථික වර්ධනයක් තිබුණේ.
එමෙන්ම අපගේ විදේශ විනිමය ලබාගන්න මූලික අංශ වන විදේශ ආයෝජන, සංචාරක ව්‍යාපාරය, අපනයන සහ විදේශ රැකියා වලින් එන ආදායම වැඩි කරගන්නට අපට හැකියාව ලැබුණා.
විදේශ වාණිජ ගනුදෙනු වල සීමා ඉවත් කරන්නට හැකි වුණා.එමෙන්ම උද්ධමනය අඩු කළා.සැප්තැම්බර් මාසය වන විට රට සාමාන්‍ය තත්ත්වයකට පැමිණ තිබුණා.
එමෙන්ම 30% කට තිබූ පොලිය 10% කට අඩු කර තිබෙනවා.විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන හයක් දක්වා වැඩිකර තිබෙනවා.එමෙන්ම අප මුදල් අච්චු ගැසීම නතර කළා. එමෙන්ම ආණ්ඩුවේ ආදායම අප බාර ගනිද්දී තිබුණේ දළ දේශීය නිෂ්පාදනයෙන් 8.3යි. 2023 වන විට එය 11.1 ක් බවට පත්වුණා.
ආදායම් වියදම් පරතරය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 12 සිට සියයට 8.3 දක්වා අඩු කර තිබෙනවා. එදා ඩොලරය තිබුනේ 380 කට.අද එය 300 දක්වා අඩුකර තිබෙනවා.අවුරුදු 75 කට පසු මහ බැංකුවේ මුදල් නැතුව අප මූල්‍ය පාලනයක් ගෙන ගියා. පසුව 2025 අයවැය හදන්නට අපි කර තිබුණා. එය හදන්නට පෙර මූල්‍යය අරමුදල සාකච්ඡා කොට එකඟතාවය පළ කරන්නට තිබුණා. කරන්න තිබුණේ එපමණයි.
එම නිසා අප රාජ්‍ය සේවක වේතන වැඩි කිරීම සඳහා උදය සෙනෙවිරත්න වාර්තාව ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දුන්නා. අපට මුදල් තිබුන නිසා එම යෝජනාව ක්‍රියාත්මක කරනවාට මූල්‍ය අරමුදලේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ අනුව නිල වශයෙන් එම තීරණය ලබාගෙන එයත් ඇතුළු කළා.අන්තිම මොහොතේ කලේ ඇයිදැයි දැන් ජනපති අහනවා.අප මේ තීරණ හදිසියේ ගත්තේ ඇයිදැයි එතුමා තව කල් සිටින විට තේරේවි.
මූල්‍ය අරමුදලේ කණ්ඩායම මෙරටට පැමිණි විට ආණ්ඩුව එකඟතාවයකට එළඹියේ නැහැ.අපි නිව්යෝර්ක් වලට ගිහින් සාකච්ඡා කරනවා යැයි ඔවුන් කිව්වා.
රත්නපුරේදී සෙනසුරාදා අනුර දිසානායක ජනාධිපති කිව්වේ මේ වන විටත් ආර්ථික උපදේශක ඇතුළු මුදල් අමාත්‍යංශය නියෝජනය කරන නිලධාරීන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බවයි. වඩා යහපත් අයවැයක් සකස් කර දීම සඳහා ඔවුන් ඉදිරිපත් කළ යෝජනා ගැන කතා කරන බවත් කිව්වා.
නමුත් සාකච්ඡා අවසන් නොවූ බවත් ඊළඟ අයවැයෙන් පසුව එම සාකච්ඡා අවසන් වන බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා.
මේක හරි කතාවක් නේ.වැඩකටයුතු ඔක්කොම හරි කියා අනුර කිව්වා. දැන් හැම එකක්ම මගේ පිට දාන්න හදනවා.මම කෝටි හතරක කජු කකා හිටපු බව කියනවා. එහෙම නම් මට වෙන වැඩ කරන්න වෙන්නේ නැහැ.
දැන් මේ ගිවිසුම් වලට සිදුවී තිබෙන්නේ කුමක්ද? අප මේ සියල්ල නිසි පරිදි සකස් කළා.තිබුණේ අන්තිම අත්සන යෙදීම පමණයි. මොවුන්ට කරන්නට තිබුණේ කොළඹදී එකඟතාවය පළකොට අතනට ගිහින් අත්සන් කොට අයවැය හැදීමයි.
දැන් තව සාකච්ඡා කරන්න ඕනලු.දැන් මොවුන් කරන සාකච්ඡා මොකක්ද? ඒක වහාම කියන්න.
මොකද මේවර අයවැය හදනවා නම් අප ගියවර අයවැයට අර ගත්තේ බිලියන 4000යි. අන්තිම කාලය වන විට අපේ ආදායම බිලියන 3700 ක් වී තිබුණා.මේ වසරේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 13ක ආදායම් ලබා ලබාගන්න අප ඉලක්ක කර තිබුණා. අපට සහනයක් ලබා දී තිබෙන්නේ 2028 වන විට ණය ගෙවන්නට හැකි තත්ත්වයකට පැමිණීමට පොරොන්දු වූ නිසයි. එසේ නම් මේ වසරේ සියයට 13ක් ද එන වසරේ සියයට 14ක් ද ඊළඟ වසරේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 15ක් ද වශයෙන් ආදායම් ලබාගත යුතුව තිබෙනවා.
රුපියල් බිලියන 5000ක් ආදායමක් සහිතව රටේ ආර්ථිකය හදන්නට අප බලාපොරොත්තු වුණා. එවිට බිලියන දහසකට වඩා අලුත් ආදායම සෙවිය යුතුයි.
මේ ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන යෝජනා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද?මොවුන්ගේ
අලුත් යෝජනා ඔක්කොම දානවා නම් රටේ වියදම රුපියල් බිලියන 5600 ක් පමණක් වෙනවා.
අනෙක් අතින් රටේ ආදායම රුපියල් බිලියන 3000 දක්වා පහත බසිනවා.එවිට අයවැය පරතරය රුපියල් බිලියන 1000 සිට 2500 දක්වා වැඩි වෙනවා.එවිට ඒ මුදල් හොයන්නේ කොහොමද? මුදල් අච්චු ගහන්න හැකියාවක් නැහැ.මුදල් අච්චු ගහන්නේ නැතැයි අප මූල්‍ය අරමුදලට එකඟ වී තිබෙනවා.එමෙන්ම හිතුමතේ ණය ගන්නත් බැහැ.
මේ ගැන ජනාධිපති වහාම රටට කියන්න. මා ජනාධිපති ලෙස මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළා නම් වෙනත් වැදගත් තීරණයක් ගත්තා නම් පාර්ලිමේන්තුවට හෝ ජනතාවට පවසනවා. මේ වන තෙක් ජනපති කිසිම දෙයක් ප්‍රකාශ කර නැහැ.
එම නිසා මූල්‍ය අරමුදලේ දූත පිරිස පැමිණි පසුව සාකච්ඡා කොට එම සාකච්ඡාවල සැබෑ තත්ත්වය පිළිබඳව ඉදිරි දින කිහිපය ඇතුළත රටට පැවසීමට ජනපතිට යුතුකමක් තිබෙනවා.
මේක හංගගෙන ඉන්න එපා. අප කියන සංඛ්‍යාලේඛන වැරදි නම් ඒවා නිවැරදි කරන්න.මේ කරුණු රටට හංගන්න එපා.
ඉකුත් සෙනසුරාදා වන විට මෙහි කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එසේනම් ඉරිදා ප්‍රශ්නය ඇති වුණේ කොහොමද? ජනතාව මෙය දැනගත යුතුයි.අප මේ පිළිබඳව නීති සම්මත කර තිබෙනවා.
මෙහෙම කරන්න ගිහින් ආපහු පෝලිම් ඇති වෙනවාද? උද්ධමනය වැඩි වෙනවද? රුපියල බාල්දු වෙනවද? පොලිය වැඩි වෙනවද?ජනතාව මේ ඇත්ත දැනගත යුතුයි.
අපේ අයවැය පරතරය බිලියන 1200,1300 සිට බිලියන 2500ක දක්වා යනවා නම් රටට වන්නේ කුමක්ද? එහි විපාක අමුතුවෙන් කිව යුතුද?පළමුවෙන් දැන් තිබෙන සැබෑ තත්ත්වය ගැන රටට කියන්න.
මේක ඡන්දයක් මේ තෝරන්නෙ පාර්ලිමේන්තුව.මුදල් පාලනය කරන්නේ පාර්ලිමේන්තුවයි. ඒ නිසා ජනපති වහාම රටට ප්‍රකාශයක් කළ යුතුයි.ඒ නිසා අනාගතයේදී මෙවැනි ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් නම් ඊට මුහුණ දිය හැකි පලපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එවන්නැයි ජනතාවට කියනවා.
අයවැයක් තියා විසර්ජන පනත ගැනවත් කියවා නැති අය පාර්ලිමේන්තුවට එවලා හරියනවද?ඡන්ද දෙන විට එක කාරණයක් මතක තියාගන්න.ඔබේ ගෙදර ආර්ථිකය දෙස බලා කරුණාකර ගෑස් සිලින්ඩරය ළඟින් කතිරය ගහන්න යැයිද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හිටපු අමාත්‍ය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත,අපේක්ෂක සාගල රත්නායක,හිටපු මන්ත්‍රී මධුර විතානගේ,කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී රොෂාන් කොළඹගේ මහතා,හිටපු මන්ත්‍රී ප්‍රේමනාත් සී.දොළවත්ත,කඩුවෙල එජාප සංවිධායක බිනර ජයවර්ධන මහත්වරුද අදහස් දැක්වූහ.

What's your reaction?

Related Posts

1 of 350

Leave A Reply

Your email address will not be published. Required fields are marked *