O/L විද්‍යා ප්‍රශ්න පත්‍රය පිළිබඳව විභාග කොමසාරිස්ගෙන් තීරණයක්

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලැස්මට පරිබාහිරව සකස් කර ඇති බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා.

ඒ අනුව විභාගය අවසන් වීමෙන් පසුව ඒ පිළිබඳව සමාලෝචනයක් සිදු කර ඊට අදාළ නිර්දේශ සහ උපදේශ නිකුත් කිරීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 11 වැනි සහ 12 වැනි ශ්‍රේණිවල දරුවන්ට 2021 වසරේ අහිමි වූ කාලය වෙනුවෙන් ප්‍රශ්න පත්‍ර සකස් කරන ආකාරය පිළිබඳ ප්‍රතිපාදන සැලැක්ස්මක් නිකුත් කර තිබෙනවා.

එසේ තිබියදී විද්‍යා ප්‍රශ්න පත්තරයේ බහුවරණ ප්‍රශ්න තුනක් සහ රචනා ප්‍රශ්න තුනක කොටස් තුනක් ප්‍රතිපාදන සැලැස්මෙන් බාහිරව ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කර ඇති බවටයි සිසුන් සහ ගුරුවරුන් චෝදනා එල්ල කළේ.

කෙසේ වෙතත් අ.පො.ස (සා.පෙළ) විභාගය ඇතුළුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ඕනෑම විභාගයක ලකුණු දීමේ පටිපාටි සකස් කිරීමේදී ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය මෙන්ම අපේක්ෂකයන් ඒ සඳහා පිළිතුරු ලබා දුන් ආකාරය පිලිබඳවද දැඩි අවධානය යොමු කරනු ලබන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ.

ඒ සඳහා දිවයිනේ සියළුම ප්‍රදේශ ආවරණය කරමින් විවිධ මාධ්‍යය ඔස්සේ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයන්ගේ සාම්පල පිළිතුරු පත් පරික්ෂාවට ලක් කරන
බවද ඔහු සඳහන් කළා.

විභාග කොමසාරිස්වරයා පවසන්නේ එසේ සකස් කරනු ලබන ලකුණු ලබාදීමේ පටිපාටිය දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරන හා ඇගයීම් කාර්යයේදී ප්‍රධාන පරීක්ෂක වශයෙන් කටයුතු කරන එම විෂය උගන්වනු ලබන ප්‍රවීණ ගුරුවරුන් වෙත යොමු කර ඔවුන්ගේ අදහස්ද ලබාගැනීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මේ සියළු පියවරයහිදී ප්‍රශ්න පත්‍රය තුළ කිසියම් විටෙක අපේක්ෂකයන්ට ගැටළු සහගත අවස්ථා අනාවරණය වුවහොත් වහාම ඒ සඳහා මැදිහත්වීම් සිදුකර අපේක්ෂකයන්ට විය හැකි අසාධාරණයන් වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුවේ එම පියවරයන් සියල්ලම මෙවර විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක කරනු ලබන බවත් මේ වන විට එම විෂය සඳහා වන පාලක උත්තර පත්‍ර පරික්ෂාව සිදු කරමින් පවතින බවත් සඳහන්.

ඒ අනුව කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසුවේ එහිදී යම් ගැටළුවක් අනාවරණය වුවහොත්, අපේක්ෂකයන්ට කිසිදු අසාධාරණයක් නොවීමට අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගනු ලබන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *