අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලැබූ හිටපු ඇමති රොෂාන්ගේ නඩුව කල් යයි

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදු කරනු ලැබූ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ජූලි මස 10 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (04) නියෝග කළා.

මෙම පෙත්සම ඊයේ අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරුවරයා නියෝග කළේ අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන ජූලි මස 10 වනදා මොහොමඩ් ලෆාර් සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන බවයි.

මෙම පෙත්සම මීට පෙර මොහොමඞ් ලෆාර් සහ ඛේමා ස්වර්ණාධිපති යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු කේමා ස්වර්ණාධිපති විශ්‍රාම යාමට නියමිතව සිටින බැවින් මෙම පෙත්සම විභාග කිරීමට හැකියාවක් නොමැති බවත්, එය විභාග කරන විනිසුරු මඩුල්ලක් නම් කිරීම සඳහා පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා හමුවට යොමු කරන බවත් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විසින් අදාල පෙත්සම විභාග කිරීම සඳහා මෙම නව විනිසුරු මඩුල්ල පත්කර තිබෙනවා.

දිමිත්‍රී ශිරාස් ඔගස්ටස් පිට්‍රාංජලී නමැති නීතිඥවරියක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබූ අතර, එහි වග උත්තර කරුණු ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නම් කර තිබුණා.

වග උත්තරකාර රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදු කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැක්වූ කරුණුවලින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත්, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව යටතේ ඔහුට එරෙහිව දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *