අපට ඕනෑ ලෝකය ඉදිරියේ අපේ රට ඔසොවා තැබිය හැකි නායකයෙක්

අපේ රටේ ජාතික නිදහස අහිමි කර අධිරාජ්‍යවාදීන් අපේ රට යටත් කර ගන්න උත්සාහ කළ මුල්ම අවස්ථාවේ සිට වාරියපොළ හාමුදුරුවෝ, ගිරාණේගම හාමුදුරුවෝ, කුඩාපොළ හාමුදුරුවෝ, චන්ද්‍රජෝති සීලවංශ හාමුදුරුවෝ ඇතුළු මහා සංඝරත්නය පෙරට ආවා. ඉන් පසුව මෑත ගත්තාම බළංගොඩ නායක හාමුදුරුවෝ, යක්කඩුවේ හාමුදුරුවෝ, මිගෙට්ටුවත්තේ හාමුදුරුවෝ, එස්. මහින්ද හාමුදුරුවෝ වැනි භික්‍ෂුන් වහන්සේලා පෙරමුණ ගත්තේ අපේම නායකයෙක් පත් කර ගන්න. නමුත්, 1948 සුද්දන් අපව දාලා ගියාට පස්සේ කළුසුද්දන් සුද්දන්ටත් වඩා විනාශයක් රටට සිදු කර තිබෙනවා. ඒ නිසා අපේ හුස්ම, අපේ මහපොළොව ගැන අවබෝධයක් තිබෙන, ලෝකය ඉදිරියේ අපේ රට ඔසොවා තැබිය හැකි නායකයෙක් අපට ඕනෑ. ඒ නැතිවීම ගැන එදා කුංකුණාවේ හාමුදුරුවෝ කීවේ, “අපට රජෙක් ලැබුණෝතින්, කැවුම්, කිරිබත් කඤ්ඤම්. පෙරහැර කරඤ්ඤම්. සාදුකාරයෙන් ගිගුම් දෙඤ්ඤම්” කියලා. අවුරුදු 209කට පස්සේ දැන් අපට ශ්‍රී ලාංකීය මහා සංඝයා වහන්සේලා කතා කළ ජනතාවාදී නායකයෙක් බිහි කර ගන්න ලැබී තිබෙන අවස්ථාව නිසයි මහ සඟරුවන මේ මහා සඟ පෙළහර පවත්වන්නේ. ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක, අනුර දිසානායක මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කරවීම සඳහා මේ සමුළුව පවත්වනවා.

ජාතික ජන බලවේගය ගොඩනැඟී තිබෙන විවිධ කණ්ඩායම් අතර ඒ ඒ ක්‍ෂේත්‍රවල අය සංවිධානය කළ ආකාරයටම භික්‍ෂුන් වහන්සේලා හැටියට සංවිධානය කිරීම ජාතික භික්‍ෂු පෙරමුණේ අපට පැවරී තිබුණා. ඒ බලවේගය සංවිධානය කිරීම අද මල්ඵල ගැන්වී තිබෙනවා. 2001 අපේ භික්‍ෂු පෙරමුණ ගොඩනඟන කොට හතු පිපෙන්නා වාගේ වූ භික්‍ෂු සංවිධාන කොපමණ තිබුණද? අද ඒ කිසිවක් නැහැ. පටු අපේක්‍ෂා, පටු ලාභ ප්‍රයෝජන ඔස්සේ ගිය ඒ සංවිධාන ඔවුන්ගේ ආයු කාලය නිමා කර පාෂාණීභූත වෙලා තිබෙනවා. ශ්‍රී ලාංකීය සමස්ත භික්‍ෂු සංඝයා වැළඳ ගත් සංවිධානය ජාතික භික්‍ෂු පෙරමුණ පමණයි. මේ රට විනාශ කළ කණ්ඩායම් පාෂාණීභූත වෙද්දී, සමාජයත් සමඟ ඉදිරියට යන්න සමස්ත භික්‍ෂුන් වහන්සේලා සංවිධානය වී තිබෙනවා. මේ අවස්ථාවේ සියලුම නිකායන්හි මහානායක හිමිපාණන් වහන්සේලාගේ නියෝජනයන් මෙතැනට වැඩම කොට සිටිනවා. ඉතිහාසයේ කවදාවත් නොවුණු ආදරණීය සහ ලෙන්ගතු කල්‍යාණ මිත්‍ර අනුශාසනාවන් උන් වහන්සේලාගෙන් අපට මේ සද්කාර්යය වෙනුවෙන් ලැබුණා. ලිච්ඡවි රාජ්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කරන බවට විවිධ අය කටමැත දෙඩවූවාට ඔවුන් ජාතික ජන බලවේගයේ ජන ප්‍රවාහයට අවලාද නැඟීම නතර කරන්න ඕනෑ. විදේශීය හාමුදුරුවන් වහන්සේලා පවා මෙතැනට වැඩම කොට සිටිනවා. ඔබ වහන්සේලා වැඩම කළේ මේ මහා සංඝරත්නය අපේක්‍ෂා කළ ජනතාවාදී නායකයා ලෙස අනුර දිසානායක මැතිතුමා ඒකාන්තයෙන්ම එළැඹෙන ජනාධිපතිවරණයෙන් විජයග්‍රහණය කොට ජනතාවාදී නායකයෙක් පත් කර ගන්න සෙත් පතන්නයි.

අතීතයෙන් පාඩම් ඉගෙනගෙන දූරදර්ශී ප්‍රඥාවකින් කටයුතු කරන නායකයෙක් අපට අවශ්‍යයි
මහනුවර, මොලගොඩ රාජමහා විහාරාධිපති, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අග්ගමහා සද්ධානුජෝතිකධජ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමි

අපේ රටේ නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීමට දින නියම කර තිබෙනවා. අනුර කුමාර දිසානායක මැතිතුමා මේ රටේ නව වැනි විධායක ජනාධිපති ලෙස තෝරා පත් කරගෙන පුනරුද යුගයේ ජයග්‍රහණ පුරවැසියන් වෙත ලබා දීම ආරම්භ කරන බව ඉර හඳ වාගේ විශ්වාසයි. දිවයිනේ නන්දෙසින් මහා සංඝරත්නය කිසිම භේදයක් නැතිව මේ අවස්ථාවට සහභාගී වී සිටිනවා වාගේම ජාතික භික්‍ෂු පෙරමුණේ භික්‍ෂුන් වහන්සේලා විශාල කැප කිරීමක් කරන්නේ කිසිදු පෞද්ගලික ලාභ අපේක්‍ෂාවකින් තොරව බව සන්තෝෂයෙන් මතක් කරන්න ඕනෑ. අනාගත පරපුරට යහපත් දේශයක්, යුක්තිගරුක සමාජයක් බිහි කිරීමේ වගකීම ඉටු කරන්නයි මේ අවස්ථාවට දහස් ගණනක් මහා සංඝරත්නය වැඩම කර සිටින්නේ. ජනතා විමුක්ති පෙරමුණෙන් පටන්ගෙන ජාතික ජන බලවේගය දක්වා පැමිණි ගමනේදී මහා සංඝරත්නය කළ කැප කිරීම් අපට කිසිසේත්ම අමතක කරන්න බැහැ. උන් වහන්සේලා වසර ගණනාවක් තිස්සේ තමන්ගේ ජීවිත පරදුවට තබලා ජාතික සමඟියක් වාගේම ජාතික පුනරුදයක් ඇති කිරීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළා. එය මහා සංඝරත්නයේ යුතුකම හැටියට එදත්, අදත්, හෙටත් සලකනවා. අතීතයෙන් පාඩම් ඉගෙනගෙන සෞභාග්‍යවත් අනාගතයක් බිහි කිරීමට වර්තමානයේ දී දූරදර්ශී ප්‍රඥාවකින් කටයුතු කරන නායකයෙක් අපට අවශ්‍යයි. වැඩම කොට සිටින මහා සංඝරත්නය අපේ රටේ සියලුම ජන කොටස් එකතු කරගෙන ලබන 21 වැනිදා ජනාධිපතිවරණයේ දී ජාතික මහා පෙළහර සඳහා ආරම්භයක් ලබා දෙන ලෙස ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා.

අපට අවශ්‍ය වන්නේ රටට ආදරය කරන පැහැදිලි දැක්මක් ඇති නායකයෙක් ජනාධිපතිවරයා බවට පත් කරන්නයි. වංචාවෙන්, දූෂණයෙන් තොර අවශ්‍ය අවස්ථාවේ දී සෘජු තීරණ ගන්නා අවංක නායකයෙක් වාගේම මෘදු විය යුතු තැන දී මෘදු තීරණ ගන්නා නායකයෙක් අපට අවශ්‍යයි. වංචාව, දූෂණයෙන් තොර රට ගොඩනැඟිය හැකි නායකයෙක් අපි ප්‍රාර්ථනා කරන්නේ. ජනතාවගේ දුක හඳුනන, බලය වෙනුවෙන් රට පාවා නොදෙන නායකයා වශයෙන් අපි අනුර කුමාර දිසානායක මහත්මයා තෝරාගෙන ඔහුව ජයග්‍රහණය කරවන්න මහානායක හාමුදුරුවන් වහන්සේලාගේ සිට තරුණ හාමුදුරුවන් වහන්සේලා දක්වා පෙළගැසී අවසන්. ග්‍රාමීය පරිසරවල විවිධ දුක්ගැහැට විඳිමින්, තමන්ගේ ආගමික සහ ශාසනික මෙහෙවර සිදු කරන හාමුදුරුවන් වහන්සේලා පෙළගැසී අවසන්.

උතුරේ සිට දකුණටත්, නැඟෙනහිර සිට බටහිරටත් සියලුම ප්‍රදේශවල සමාන සංවර්ධනයක් ඇති කර මේ රටේ ජීවත් වන සියලු ජන කොටස්වලට සතුටින් ජීවත් විය හැකි රටක් ගොඩනැඟිය හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා. සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් නැතිව ශ්‍රී ලාංකික සන්නාමයෙන් ලෝකය ඉදිරියේ අභිමානයෙන් නැඟීසිටිය හැකි තත්වයක් නිර්මාණය කර දෙන බවට මේ රටේ බහුතර ජනතාවගේ විශ්වාසයයි. සියලු දෙනාටම සාධාරණ ආගමික අයිතියක් තහවුරු කරමින්, සියලු දෙනාටම ආගමික නිදහස තහවුරු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. සමහර අය කියනවා, පළපුරුදු පාලකයන්ට රට භාර දෙන්න ඕනෑ කියලා. එහෙම නම්, ඔවුන්ට අවුරුදු හැත්තෑහයක් තිස්සේ මේ රට ගොඩනඟන්න බැරි වුණේ ඇයි කියලා අපි ප්‍රශ්න කරනවා. ඔවුන්ගේ ආත්මාර්ථකාමී, අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා රට සංවර්ධනය කරන්න බැරි වුණා පමණක් නොවෙයි, අන්ත දිළිඳු තත්වයට ඇදදැම්මා. මම රටවල් ගණනාවකට ගිහින් තිබෙනවා. 1991දී මුලින්ම මැලේසියාවට යන කොට ගුවන්තොටුපොළ ටකරන් මඩුවක්. අද ආසියාවේ ප්‍රධානම ගුවන්තොටුපොළක් බවට පත්ව තිබෙනවා. ලෝකයේ තිබෙන දියුණුව හා සෞන්දර්යය දකින ඔවුන් අපේ රටේ ජනතාව බොරු පතුරුවා බියවද්දන්න උත්සාහ කරනවා. ජනමාධ්‍යවල ජාතික ජන බලවේගය කෙරෙහි වැරැදි අදහස් ජනතාවට පුන පුනා ප්‍රකාශ කිරීම පිළිබඳව අපට තිබෙන්නේ බලවත් සංවේගයක්. ජනමාධ්‍ය එහෙම කළත්, මේ රටේ සිවුදිගින් වැඩම කරන ලද ගරුතර මහා සංඝරත්නය පවතින ඇත්ත තත්ත්වය පැහැදිලි කර දෙන්න.

අපේ රටේ මිනිසුන් බොහොම අහිංසක බලාපොරොත්තු ඇතිවයි මහින්ද රාජපක්‍ෂට ඡන්දය දුන්නේ. යුද්ධය අවසන් වන විට ඒ අහිංසක බලාපොරොත්තු තවත් වැඩි වුණා. අන්තිමේ දී ගෝඨාභය රාජපක්‍ෂ එන කොට තවදුරටත් බලාපොරොත්තු ඉහළ ගියා. දැන් සියලු බලාපොරාත්තු බිඳවැටුණු මිනිසුන් තමන්ගේ උත්තුංග බලාපොරොත්තු ඉටු කර ගැනීමට සූදානම් වී සිටිනවා. ඒ ජනතාවගේ බලාපොරොත්තු ඔබතුමාගේ නායකත්වය යටතේ සුන් නොවේය කියන ප්‍රාර්ථනය අප හැම දෙනාටම තිබෙනවා.

ජාතික ජන බලවේගය කියන්නේ ශිෂ්ටාචාරය මත පදනම්ව තමන්ගේ දැක්ම නිර්මාණාත්මකව ගළපා ගන්නා දේශපාලන ව්‍යාපාරයක්
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක

පෞද්ගලිකව මටත්, අපේ ව්‍යාපාරයටත් ආශීර්වාද කිරීම සඳහා මේ අවස්ථාවට වැඩම කළ දහස් සංඛ්‍යාත ගෞරවනීය මහා සංඝරතනයට පළමු කොට ගෞරවපූර්වක ස්තුතිය පිරිනමනවා. අවලාද, අසත්‍ය, මඩ ප්‍රහාරවලට යට වූ දේශපාලන වේදිකාවක් නිර්මාණය වෙමින් තිබෙනවා. සමහර දේශපාලන වේදිකාවල කියවුණු දේවල් ඔබ වහන්සේලාත් අහන්න, දකින්න ඇති. මේ වාගේ සභාවක පුද්ගලයන්ගේ නම් කියන්න මම අකැමැති වුණත්, අදාළ කරුණු පැහැදිලි කිරීම සඳහා ඔවුන්ගේ නම් කීමට සිදු වී තිබෙනවා. කුරුණෑගල පවත්වන ලද සජබ රැස්වීමේ මහාචාර්ය චරිත හේරත් මහතා කතා කළා. ඔහු කෑමොර දීලා කීවේ, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ඇත්කඳවල විහාරයේ පෙරහැර පවත්වන්න දෙන්නේ නැහැ කියලා. ඒ වාගේම මහනුවර දී තිස්ස අත්තනායක කියන කූට ලේඛන පිළිබඳ විශේෂඥයා ප්‍රකාශ කළේ, අපි බලයට ආවොත්, නුවර පෙරහැර නතර කරනවා කියලා. තවත් සමහර අය විටින් විට චෝදනා එල්ල කරමින්, ජාතික ජන බලවේගය බලයට ආවොත්, පන්සලට දානයක්වත් ලැබෙන්නේ නැති වන බවට චෝදනා කළා. අද දහස් සංඛ්‍යාත ගරුතර මහා සංඝරත්නය මේ ශාලාවේ ඉඩ මඳි වන තරමට වැඩම කිරීමෙන් අවලාද, අසත්‍යය නොපිළිගන්නා බවට ප්‍රායෝගික උත්තරයක් ලබා දී තිබෙනවා. අපි ආගම පිළිබඳව සමාජය පිළිබඳව ඕපපාතිකව කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ. දැනුමක් තිබෙන අයගෙන් විමසා බලා කරුණු පැහැදිලි කර ගන්නවා. අත්තංගනේ මහානායක හාමුදුරුවන්ට මම පෞද්ගලිකව කතා කරලා යම් කරුණු නිරාකරණය කරගෙන තිබෙනවා.

අපි වේදිකාවේදී අතට එන යමක් අරගෙන ගහන දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි. නොදන්නා දේවල් ගැන දැනුවත් වී වඩා යහපත් දිශාවකට මේ සමාජය යොමු කරන්න වෙහෙසෙන ව්‍යාපාරයක්. ඒ නිසා ආගම සහ මේ සමාජය පිළිබඳව අපට තිබෙන්නේ ගැඹුරින් හැදෑරූ, අසා දැනගත් ඔවදන්වලින් ලබා ගත් අවබෝධයක්. ඕනෑම සමාජයක් ශිෂ්ටසම්පන්නභාවයට, ස්ථාවරත්වයට ගෙන එන්න නීතිරීති වාගේම ආගමික පසුබිමත් ඉතාමත් හොඳින් බලපානවා. මුළු සමාජයක් නීතිවලින් පමණක් මෙහෙයවන්න බැහැ. රීති, සම්ප්‍රදායයන්, ආගමික විශ්වාසයන් ආදී සමස්තයක එකතුවෙන් සමාජයක ස්ථාවරභාවය ඇති කෙරෙනවා. කවුරු හෝ කෙනෙක් හිතුවක්කාරී විදියට සම්ප්‍රදායයන්, ඇදහිලි, විශ්වාස කඩාබිඳ දමනවා නම්, කලබැගෑනි සහිත අරාජික සමාජයක් බවට පත් වෙනවා. එක් එක් රටවල සම්ප්‍රදායයන්, ඇදහිලි, විශ්වාස ගොඩනැඟෙන්නේ විශාල ඉතිහාසයක් සහිත පසුබිමකින්. මේ මොහොතේ පවතින්නේ අතීතයේ දිගුකාලීන විකාශනයක්. එවැනි තත්වයන් කඩාබිඳ දැමීමෙන් මහපොළොවත් එක්ක ඓන්ද්‍රීය බැඳීමක් නැති, ශිෂ්ටාචාරයක් නැති, හුදු පාවෙන මිනිස් පුළුටු බවට පත් වන ජාතියක් බවට පත් වෙනවා. සමාජයක් ඉස්සරහට යන්නේ ඒ සමාජය ගොඩනැඟුණු ශිෂ්ටාචාරයේ පවතින ඇදහිලි, විශ්වාස ඉවත් කරමින් නොවෙයි, ඒ සමඟ එකිනෙකාගේ මිශ්‍ර වීමෙන් සහ අලුත් දේවල් එකතු කර ගැනීමෙන්. ලෝකයේ දියුණු යැයි සම්මත කිසිදු සමාජයක් තමන්ගේ ඓතිහාසික ශිෂ්ටාචාරය පසෙක තබා දියුණුවේ ඔරුව පැද යන්නේ නැහැ. එවැනි සමාජයන් ඔහේ පාවෙන, එකතැන පල්වෙන අරාජික සමාජයන් බවට පත් වෙනවා.

නමුත්, ලාංකේය ශිෂ්ටාචාරය ගොඩනැඟීමේදී ප්‍රධානම පදනම සැකැසෙන්නේ ක්‍රිස්තු පූර්ව 03 වැනි සියවසේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙනුයි. මහාවංසයේ සඳහන් වෙන්නේ ඊට පෙර ගෝත්‍රික ඇදහිලිවලින් පැවැතුණත්, පණ්ඩුකාභය රජ්ජුරුවෝ අභය වැව හැදුවාට පස්සේ නැඟෙනහිර දිශාවෙන් කාලවේල යක්‍ෂයාටත්, අභය වැවෙන් පහළ ප්‍රදේශය චිත්තරාජ යක්‍ෂයාටත් දේවාල ඉදි කර දුන් බවයි. මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයට පෙර මේ තත්වය තිබුණු බව පැහැදිලියි. ඒ වාගේම වල්පොළ රාහුල හාමුදුරුවන් වහන්සේ ප්‍රකාශ කර තිබෙන්නේ බණඩාර ඇදහිලි යනුවෙන් මළමිනී ඇදහීමක් තිබුණු බවයි. එහෙම තිබුණු ගෝත්‍රික සමාජ ශිෂ්ටාචාරය ශිෂ්ටසම්පන්න සමාජයක් බවට පරිවර්තනය කිරීමේ මූලික පියවර මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් පසුව ලාංකිකයන්ට ලැබුණු විධිමත් දහමක් සහ දැක්මක් සහිතව ගොඩනැඟෙන්න පටන් ගත්තා. ඉතිහාසයට උරුමකම් කියන ශක්තිමත් ලාංකේය ශිෂ්ටාචාරයක් ගොඩනැඟෙන්න පටන් ගත්තේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් පසුවයි. අපට ඊට පෙරත් ලිඛිත භාෂාවක් තිබුණු බවට ඇතැම් විද්වතුන් සඳහන් කරනවා. නමුත්, සෙල් ලිපි, ලෙන් ලිපි ආදී සාක්‍ෂි හමු වන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයෙන් පසුවයි. ශිල්ප කලාවන්ගෙන් මහා විස්කම් පෑ ජාතියක් බවට පත් වන්නේ ඉන් පසුවයි. ලෝවාමහාපාය වැනි විස්මිත නිර්මාණ බිහි වීමේ පදනම බෞද්ධ දර්ශනයයි. එතැනින් නොනැවැතී ජනපද ආශ්‍රිත ආර්ථිකය ගොඩනැඟෙන්නේම වාපි කර්මාන්තයත් එක්ක. අපි අද අත්විඳින, දකින සමාජයේ ආරම්භක මුල් පවතින්නේ, අපි වැඩෙන්නේ, අපි පවතින්නේ සහ ඉදිරියටත් නිර්මාණය වන්නේ ඒ මතින්. කවුරුහරි ඒ පාදම, මුල් විනාශ කොට දැමිය යුතුයි කියලා කියනවා නම්, ඔළුව පරීක්‍ෂා කර ගන්න වෙනවා. අපට චෝදනා කරන අයට මම කියන්නේ ඒ අය තමන්ගේ ඔළුව පරීක්‍ෂා කර ගන්න කියලා. ජාතික ජන බලවේගය කියන්නේ මේ ශිෂ්ටාචාරයේ පවුරු පදනම් මත තමන්ගේ දැක්ම නිර්මාණාත්මකව ගළපා ගන්නා දේශපාලන ව්‍යාපාරයක්. අපි මේ මහපොළොවත් එක්ක ඓන්ද්‍රීය සම්බන්ධතාවක් තිබෙන දේශපාලන ව්‍යාපාරයක්.

අපේ භික්‍ෂු සමාජය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනවා. ගිහි සමාජය කොයියම්ම මොහොතක හෝ අසරණභාවයට පත් වනවා නම්, එයින් මුදා ගැනීමේ ප්‍රමුඛතම කාර්යභාරය අපේ භික්‍ෂු සමාජය දරා සිටිනවා. රට අනතුරුදායක තත්ත්වයකට පත් වනවා නම්, අපේ හාමුදුරුවන් වහන්සේලා පෙරටු කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. ආගමික පැත්තෙන් පමණක් නොවෙයි, සමාජයීය පැත්තෙන් ගත්තත් භික්‍ෂුන් වහන්සේලා ඉතාමත්ම ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. හෙටත් පාලකයන්ට මඟපෙන්වීමට සමත් වන ශ්‍රේෂ්ඨ සංඝ සමාජයක් ලංකාවේ පවතිනවා. දේවානම්පියතිස්ස රජුට මිහිඳු හිමියන් දැහැමි පාලකයෙක් බවට පත් වන ආකාරය දේශනා කළා. පෞද්ගලිකව මම ගත්තොත්, සිංහල, බෞද්ධ පරිසරයක හැදුණේ, වැඩුණේ. අපේ අම්මලා, තාත්තලා අපට හොඳ, නරක කියලා දෙන්න උපුටා ගන්නේ ජාතක කතා පොත. අපේ ගමේ සංස්කෘතික ක්‍රියාකාරකම් පන්සල එක්ක බැඳී තිබුණා. ඒ වාගේම හින්දු පරිසරයක හැදුණු, වැඩුණු අයට ඔවුන්ගේ අධ්‍යාත්මය බවට පත් වන්නේ හින්දු සංස්කෘතික පරිසරයක්. මුස්ලිම් ජන කණ්ඩායම් හැදී වැඩෙන්නේ අල්-කුරාණයේ මඟපෙන්වීමත් එක්කයි. ක්‍රිස්තියානි ජන ප්‍රජාවට හොඳ, නරක කියලා දෙන්නේ ක්‍රිස්තු චරිතය නැත්නම්, බයිබලය. අප හැදෙන, වැඩෙන පරිසරය අනුව සිංහල බෞද්ධ අධ්‍යාත්මයත්, මුස්ලිම් ඉස්ලාම් අධ්‍යාත්මයත්, දෙමළ හින්දු අධ්‍යාත්මයත් නැත් නම්, කිතුනු අධ්‍යාත්මයත් ලැබෙනවා.

අපේ අධ්‍යාත්මය අනෙකා කෙරෙහි සතුරුභාවයත්, කෝපයත් නිර්මාණය කර ගැනීමට යොදාගත යුතුද? නමුත්, මෙතෙක් පැවැති දේශපාලනය සිදු කර තිබෙන්නේ එකිනෙකාගේ පවතින අධ්‍යාත්මයන් වේදිකාවට ගෙනැවිත් අනෙකාට එරෙහිව යොදා ගැනීමයි. ඔවුන් බලය ගත්තෙත්, පවත්වාගෙන යන්න යොදා ගත්තෙත්, අනෙකාගේ සංස්කෘතියට, අධ්‍යාත්මයට රිද්දවීමයි. අනෙකාට එරෙහිව ගොඩනඟන ආණ්ඩුවක් කවදාවත් රටේ සමඟිය නිර්මාණය කරන්න සමත් වෙන්නේ නැහැ. අපි ආණ්ඩුවක් සැදිය යුතුයි; නමුත්, අනෙකාට එරෙහිව නොවෙයි. සියලු දෙනාම එකතු කර ගත් සමඟිසම්පන්න ආණ්ඩුවක් හදන්න ඕනෑ. අපි ඉපදෙන කොට හිස් කළයක් වුණාට සිංහල – බෞද්ධ වගේම අනෙකුත් ආගම්වලිනුත් අධ්‍යාත්මයන්ගෙන් පිරෙනවා. එය පාඩම් පොතේ කතාවක් නොවෙයි. අධ්‍යාත්මය ගොඩනැඟීමේ කතාවක් නිසා අනෙක් සෑම දෙයකට වඩා ප්‍රබලයි. පාලකයන් අනෙක් සියල්ලන්ගෙන්ම අසාර්ථක වුණාම අනෙකාට එරෙහිව සංවිධානය වෙන්න අපේ අධ්‍යාත්මයට කූද්දමින්, බල කරනවා. අපේ රටේ දශක ගණනාවක් තිස්සේ තිබුණු දේශපාලන මාර්ග සිතියම ඒකයි.

අද අපට අවශ්‍ය වී තිබෙන්නේ අනෙකාගේ අධ්‍යාත්මයට රිද්දන්නේ නැති ඔවුන්ට හිමි අයිතීන් පිළිගනිමින්, ගෞරව කරමින් නව සමඟිසම්පන්න ආණ්ඩුවක් ස්ථාපනය කිරීමයි. සමහර අය කියනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියෙන් තහවුරු කොට තිබෙන බෞද්ධාගමට හිමි විය යුතු ස්ථානය අපි ඉවත් කරන බව. 2015-2019 කාලයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීම සම්බන්ධ සාකච්ඡා සභාවේ මූලාසනය දැරුවේ වර්තමාන ජනාධිපති, රනිල් වික්‍රමසිංහ. මම, අපේ බිමල් රත්නායක සහෝදරයා, සම්බන්ධන් මහතා, සුමන්දිරන් මහතා, හකීම් මහතා, මනෝ ගනේෂන් මහතා ඇතුළු පිරිසක් එය නියෝජනය කළා. නමුත්, ඒ කිසිවෙක් නව වැනි වගන්තිය සංශෝධනය කළ යුතුයි කියලා යෝජනා කළේ නැහැ. ඒ නිසා පොදු සමාජයේ කිසිවකුටත් ඒ වගන්තිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. නමුත්, ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් නව වැනි වගන්තිය ඉවත් කරන බවට භීතිකාවක් ඇති කරන්න හදනවා. එසේ නොකරන බව අපේ හාමුදුරුවන් වහන්සේලා ඉදිරියේ මම අවධාරණය කරනවා. අපි හදන්නේ අපේ පවුරු පදනම්, ශිෂ්ටාචාරය සුනුවිසුණු කර ගත් ආණ්ඩුවක් නොවෙයි. ශක්තිමත්, අක්මුල් ආරක්‍ෂා කර ගනිමින්, ඉදිරියට යාමයි අපේ අරමුණ. පැරැණි අතීතයේ ශ්‍රී විභූතිය වර්ණනා කරමින්, මේ දක්වා පාලකයන් කටයුතු කළා. නමුත්, අප සිදු කරන්නේ ආරක්‍ෂා කළ යුතු සියල්ල ආරක්‍ෂා කර ගනිමින්, ලෝකයේ නව දැනුම සහ විද්‍යාත්මක සොයාගැනීම් තුළින් උකහාගත යුතු සියල්ල උකහා ගනිමින්, ඉදිරියට යාමයි. ලෝකය සමඟ ඉදිරියට යන දියුණු ශ්‍රී ලාංකේය ජාතියක් නිර්මාණය කිරීම ජාතික ජන බලවේගයේ මූලික ක්‍රියාමාර්ගයයි.

එහි තවත් අන්තයක් තිබෙනවා. අතීතයේ සියල්ල ඉවත් කර ඔහේ පාවෙන මිනිස් සමූහයක් නිර්මාණය කරන්නත් පුළුවන්. අපි අතීතය ගැන අවධානය යොමු කළොත්, වර්තමානය අතිශය දුක්ඛදායකයි. ශ්‍රී ලංකාව ණය ගෙවා ගන්න බැරිව ලෝකයට පොලු තැබූ රටක්. අපේ ශිෂ්ටාචාරයේ කන, බොන දේවල්වලට වස මිශ්‍ර නොකිරීම, සතෙක් කන, බොන වෙලාවට ගලකින්වත් නොගැසීම වාගේ හර පද්ධති තිබුණත්, අද රෝගීන්ට ලබා දෙන බෙහෙතටත් වංචා කරන පිරිසක් ඉන්නවා. අතීතය ගැන මොන තරම් පාරම්බෑවත්, අප ඉදිරිපිට තිබෙන්නේ සියලු යහපත් දේ අයිස් වතුරේ ගිල්වා මරා දමන ලද සමාජයක්. දෙමාපියන් සහ දරුවන් අතර, ගුරුවරුන් සහ සිසු සිසුවියන් අතර, පාලකයන් සහ ජනතාව අතර සබඳතා සියල්ල අයිස් වතුරේ ගිල්වා මරා දමා තිබෙනවා. ඒ සබඳතාවලට අපි යළි නව පණ දෙන්න ඕනෑ. මිනිසාට හැම වෙලාවේම සමාජයක් හැටියට ජීවත් වෙන්න බල කෙරී තිබුණත්, අද සියලු යහපත් මානව සබඳතාවන් කීතු කීතු කොට විනාශ කර තිබෙනවා. පියාගෙන් දූෂණය වන දරුවන් පිළිබඳව අහන්න ලැබෙනවා. ආගන්තුක සත්කාරයට හුරු යැයි කියන සමාජයක් විදේශීය කාන්තාවන් සමූහ දූෂණයකට ලක් කරනවා. පාසල් ළමුන් රංචුවක් එකතු වෙලා තම පංතියේම දැරියක දූෂණය කරනවා.

ඒ නිසා හාමුදුරුවන් වහන්සේලා ධර්මය දේශනා කිරීමත්, අපගේ දේශපාලනය අප විසින් ක්‍රියාත්මක කිරීමත් දෙකම එක අරමුණක් වෙනුවෙන් මෙහෙයැවිය යුතුව තිබෙනවා. කඩාවැටුණු සමාජය ශිෂ්ටසම්පන්න බවට පත් කිරීමේ වගකීම අප හැම දෙනාටම තිබෙනවා. ඒ වගකීම ඉටු කිරීමේ ආණ්ඩුවක් ගොඩනඟා ගනිමු. අපේ රටේ ආර්ථිකයේ නව පුනරුදයක් ඇති කරමින්, නව පදනමක් සකසාගත යුතු වෙනවා. අපේ රටේ විනාශ වී තිබෙන සමාජය ගොඩනැඟීමට කැත, මජර දේශපාලනය වෙනස් කිරීමට පටන් ගන්න වෙනවා. ඔබ වහන්සේලා අත්හරින්නේ නැති යුතුකමක් වෙනුවෙන් පේ වී සිටිනවා. ආගමික සහ සමාජ වගකීමක් අත්හරින්නේ නැතිව දරා ගනිමින්, ඔබ වහන්සේලා සිවුරක් දරාගෙන සිටිනවා. එය ඔබ වහන්සේලාගේ ජීවිතයි. අපි අත්හරින්නේ නැති සමාජ, දේශපාලනික වගකීමක් තෝරාගෙන තිබෙනවා. අපි දෙපිරිස එකට සිටගනිමින්, මේ රට නව යුගයක් බවට පරිවර්තනය කිරීමට ක්‍රියා කරමු කියන ආරාධනය කරනවා. මේ අවස්ථාවට වැඩම කොට අපට ශක්තියක් දෙමින්, අනුශාසනා කිරීම පිළිබඳව නැවත වරක් ගෞරවපූර්වකව බෙහෙවින්ම ස්තුතිය පුද කරනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *