අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව නැහැ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි…
අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව නැහැ…
ස.ජ.බයේ භාගයට භාගයක් ඉන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදවු කළ යුතුයි කියන මතයේයි…
රටේම කාන්තාවන් ජනාධිපතිවරයාට සහය දෙන්න තීන්දු කරල ඉවරයි…
ජාතික ජනබල වේගය ජනාධිපතිවරණ ව්‍යාපාරය පටන් ගන්නේ මීට අවුරුදු දෙකකට කලින් අපේ ගෙවල් ගිනි තියලයි…
(මන්ත්‍රිනී කෝකිලා හර්ෂණි ගුණවර්ධන)
ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ ඉන්න සුදුසුම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතායි…
ජාත්‍යන්තර නිළධාරියෙක් හමුවෙන්න ගුවන් යානයක යන්න බය කෙනෙක් කොහොමද රටක් පාලනය කරන්නේ…
සමහරු මේ දවස්වල කියනවා අපේ පක්ෂයේ බඩ සුද්දයි කියලා. හැබැයි ලෙඩා මැරිලා ඉවරයි…
( මන්ත්‍රී මිලාන් ජයතිලක)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකරන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මිය පැවසුවාය.
ඇය අවධාරණය කළේ තමන් ඇතුළු පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව නොමැති බවයි.
එහෙත් පක්ෂයට තමන් අවශ්‍ය නොමැතිනම් තමන් ඇතුළු පිරිසටද පොහොට්ටුවට යෑමේ අවශ්‍යතාවක් නොමැති බවද ඇය සඳහන් කළාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විකල්ප කණ්ඩායම පන්නිපිටිය, වික්‍රමසිංහපුර, බත්තරමුල්ලේ පිහිටි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ අද (23) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.
එහිදී මන්ත්‍රීවරිය මෙසේද පැවසුවාය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම සඳහා තලතා අතුකෝරල මන්ත්‍රීතුමිය ඉකුත්දා තම මන්ත්‍රීධූරයෙන් පවා ඉවත් වුණා. එතුමිය කියන්නේ මේ වේලාවේ රට හදන්නනම් බෙදිල යන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්විය යුතු බවයි තලතා මන්ත්‍රීතුමිය කිව්වේ. තලතා මන්ත්‍රීතුමිය පමණක් නෙවෙයි ස.ජ.බයේ භාගයට භාගයක් ඉන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදවු කළ යුතුයි කියන මතයේයි. ස.ජ.බ වේදිකාවේ ඉන්න කාන්තාවන්ට නිසි තැනක් ලැබෙන්නේ නෑ. අපි කටානෙදි ඒක දැක්කා.
දැන් රටේම කාන්තාවන් ජනාධිපතිවරයාට සහය දෙන්න තීන්දු කරල ඉවරයි.ඒකට හේතු තිබෙනවා. ආර්ථික අවපාතයෙන් වැඩියෙන්ම පීඩාවින්දෙ කාන්තාවන්. දැන් රටේ ආර්ථිකය සුරක්ෂිතයි. රටේ අනාගත පරපුර සුරක්ෂිතයි. අම්මලා විදියට හැම තිස්සෙම බලන්නේ රටේ දරුපරපුරේ අනාගත සුරක්ෂිත බවයි. ජනාධිපතිතුමා එදා බාරගත්තේ කඩාවැටුණු ආර්ථිකයක් සහිත රටක්. අරගලයත් සමඟ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටුණා. රටට විදේශ ආයෝජකයන් එන්නේ නැතුව ගියා. විදේශගත ශ්‍රමිකයන් රටට මුදල් එවන්නේ නැතුව ගියා. ඒ අවධානම් ආර්ථික තත්වයෙන් ජනාධිපතිතුමා රට ගොඩගත්තා. ඒක කාන්තාවන් දන්නවා. ඒ නිසා තමයි කාන්තාවන් ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළගැසිල ඉන්නේ.
එදා සමෘද්ධිය මඟින් පවුලකට දෙන්න පුළුවන් වුනේ රුපියල් 3500 -5000ක් වගේ මුදලක්. නමුත් අද ඒ තත්ත්වය වෙනස්වෙලා. අස්වැසුම වැඩපිළිවෙල හරහා පවුල් ලක්ෂ 24ක ජනතාවකට රුපියල් 15000ක් බැගින් මුදලක් ලබාදෙන්න අපිට පුළුවන්කම ලැබිල තියෙනවා. ඒ තුළ පවුලේ ආර්ථිකය යම් තරමකට සුරක්ෂිතව තිබෙන බව අපිට පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම එදා රෝහල්වල ඖෂධ තිබුනේ නෑ. නමුත් අද ජනතාවට අත්‍යාවශ්‍ය ඖෂධ ටික රෝහල්වල තිබෙනවා.රට ක්‍රමයෙන් ගොඩනඟාගෙන යන බව ජනතාවට දැනෙනවා. ඒ නිසා තමයි ගම්වල ජනතාව ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළ ගැසෙන්නේ.
ජාතික ජනබල වේඟය ජනාධිපතිවරණ ව්‍යාපාරය පටන් ගන්නේ මීට අවුරුදු දෙකකට කලින් අපේ ගෙවල් ගිනි තියලයි. හැබැයි අපි ජනාධිපතිවරණ ව්‍යාපාරය පටන්ගත්තේ සති දෙකකට කලින්. නමුත් අපි ජාතික ජනබලවේගයට වඩා සෑහෙන ඉස්සරහින් ඉන්නවා. මේ තියෙන තත්ත්වය තවත් සති දෙකක් යනවිට අපේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තවත් ඉහළට යනවා. අද අපිට කතා කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපිත් සමඟ හිටපු පාක්ෂිකයන්. අපි තවමත් පක්ෂය දාල ගිහිල්ලා නෑ. එයාලට අපිව අවශ්‍ය නැත්නම් අපිට යන්න අවශ්‍යතාවයකුත් නෑ. නමුත් අවශ්‍ය වුනොත් අපි සූදානම් ඉදිරි මැතිවරණයකදී සන්ධානගත වෙන්න. මැතිවරණ ජයගන්න අවශ්‍ය ජනතාවගේ කැමැත්තයි. පොහොට්ටුව තුළ හිටපු අපිව විශ්වාස කරපු පාක්ෂිකයන්ට යන්න තැනක් තියෙන්න ඕන. ඒ සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අලුත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා.
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා මෙසේ පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 93 ක ප්‍රමාණයක් මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම සදහා එකතු වෙලා තියෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පළාත් පාලන නියෝජිතයන් සහ විවිධ සංවිධාන අපේ දේශපාලන වැඩපිළිවෙල සමග එකතු වෙලා ඉන්නවා. අපි අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය යටතේ සංධානගත වෙලා තමයි ජනාධිපතිතුමාට සහයෝගය ලබාදෙන්නේ. අපිට කිසිම තර්ජනයක් නෑ. මේ වෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ සහෝදර මන්ත්‍රීවරු අතළොස්සක් ඉතිරි වෙලා ඉන්නවා. මේ රටේ අනාගතය, දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සදහා ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ ඉන්න සුදුසු ම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. එතුමා පළපුරුද්ද කළපුරුදුද තියෙන නායකයෙක්. එතුමා අපේ හිටපු ප්‍රබලම ප්‍රතිවාදියා. නමුත් අද වෙනකොට මේ රට ගොඩ නගන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. අරගලය වෙලාවේ මාලිමාවේ උදවිය මිනිස්සු මරාගෙන පාර්ලිමේන්තුව ගිනි තියලා රට විනාශ කරන්න හදපු වෙලාවේ රනිල් විකුමසිංහ මහතා මේ සියල්ල සමනය කරලා ජනතාවට නැවත සාමකාමීව ජීවත් විය හැකි රටක් නිර්මාණය කළා. මම අභියෝග කරනවා සජිත් ප්‍රේමදාස මහතාට එතුමා විදේශගත වූ වාර ගණන කියන්න කියලා. ජාත්‍යන්තර නිළධාරියෙක් හමුවෙන්න ගුවන් යානයක යන්න බය කෙනෙක් කොහොමද රටක් පාලනය කරන්නේ.
මේ රට භාරගන්න කියපු වෙලාවේ එතුමා රට අතෑරලා පැනලා ගියා. අනුර කුමාරත් පැනලා ගියා. හැබැයි අභියෝගයට මූණ දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා විතරයි. මම පෞද්ගලිකව එතුමා ගැන විශ්වාසය තිබ්බේ එතුමගෙ ගෙදර ගිනි තිබ්බට පස්සේ එතුමා බය වෙලා පැනලා නොගිය නිසා. ඒ කණ්ඩායම සූදානම් උනේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදර ගිනි තියලා එතුමව බය කරන්න. හැබැයි එතුමා තවත් ශක්තිමත් වෙලා මේ රට එක්සේසත් කළා. එහෙම නොවෙන්න මේ රට බංගලාදේශයක් වෙනවා. අනික් කිසිම දේශපාලන නායකයෙක්ට මේ ශක්තිය නෑ කියලා පැහැදිලියි.
අද අනෙකුත් පක්ෂවල ප්‍රබලයෝ ගැලවිලා ඇවිල්ලා අපිට එනකු වෙලා ඉන්නවා. අනිත් පක්ෂ සිගිති පක්ෂ බවට පත්වෙලා ඉවරයි. මොනතරම් ප්‍රචාරණ ව්‍යාපාර කරත් ඒවා හරිහැටි කරගන්න කෙනෙක් නෑ අනිත් පක්ෂවලට. මේ දවස්වල කියනවා අපේ පක්ෂයේ බඩ සුද්දයි කියලා. හැබැයි ලෙඩා මැරිලා ඉවරයි. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහයෝගය දෙන්නේ පුද්ගලික වාසිවලට නෙවේ. රට ගැන හිතලා. පළාත් පාලන මැතිවරණයකදී බලාගන්න පුළුවන් අපි එක්ක ජනතාව එකතු වෙලා ඉන්න විදිය. අපි පොහොට්ටුවෙන් අයින් වෙලා නෑ. අපි ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලක. අපේ පාක්ෂිකයාගේ ආරක්ෂාව තහවුරු කරේ රනිල් විකුමසිංහ මැතිතුමා. මාධ්‍ය වේදීන්ගේ පවා ආරක්ෂාව තහවුරු කළේ එතුමා. අපේ පාක්ෂිකයන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දෙන්නේ ඒ නිසා. අපි තහවුරු කරලා කියනවා ජනාධිපතිවරණ ප්‍රතිඵලය එනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා 50% කට වඩා අරගෙන අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *