අල, ළුෑනු සහ හාල්මැස්සන් ආනයනයෙන් වෙළඳුන්ට අයුතු ලාභයක්

2023 වසරේදී ආනයනික බී ලුනු අලෙවියෙන් වෙළෙඳුන් රුපියල් බිලියන 80ක ලාභයක් උපයා ඇති බවත් එය පෙර වසරේ ලාභයට සාපේක්ෂව රුපියල් බිලියන 51ක වැඩි වීමත් බවත් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ වාර්තාව මගින් අනාවරණ කර තිබෙනවා.

මීට අමතරව අර්තාපල්, වියළි හාල්මැස්සන්, උම්බලකඩ හා මුංඇට ආදී ආනයන භාණ්ඩවලින් වෙළෙඳුන් අධික ලාභයක් ඉපයූ ආකාරය ද එහි දැක්වෙන අතර එම වාර්තාව අද පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණා.

2023 වසරේදී රක්ෂණ බහලු‍ම් පිරිවැය හා බද්ද ඇතුළත්ව බී ළුෑනු කිලෝග්‍රෑමයක් මෙරටට ආනයනය කිරීම සඳහා වෙළෙඳුන් වැය කළ මුදල රුපියල් 92ක්. නමුත් එම වසරේදී බී ළුෑනු කිලෝග්‍රෑමයක් පාරිභෝගිකයාට අලෙවි කර ඇත්තේ රුපියල් 365කටයි.

ඒ අනුව 2023 වසරේදී බී ළුෑනු ආනයනකරුවන් කිලෝග්‍රෑමයකින් රුපියල් 273ක අධික ලාභයක් උපයා තිබූ අතර එය වැය කළ මුදලට සාපේක්ෂව සියයට 297.2ක ලාභයක්.

මේ අතර, 2023 වසරේ අර්තාපල් කිලෝග්‍රෑමයක් මෙරටට ආනයනය කිරීම සඳහා වෙළෙඳුන් රුපියල් 110ක මුදලක් වැය කර ඇති අතර අර්තාපල් කිලෝග්‍රෑමයක් වෙළෙඳපොළේ අලෙවි කර ඇත්තේ රුපියල් 203කටයි.

ඒ අනුව අර්තාපල් වෙළෙඳුන් වැය කළ මුදලට සාපේක්ෂව උපයා ඇති ලාභය ප්‍රතිශතයක් ලෙස සියයට 85ක්.

බී ළුෑනු හා අර්තාපල් සඳහා පාරිසරික සාධක, ගබඩා පහසුකම් හා ප්‍රවාහන වියදම සමාන තත්ත්වයක පැවතියද අර්තාපල් අනයනකරුවන්ට සාපේක්ෂව බී ළූනු ආනයනකරුවන් මිල විශාල ලෙස වැඩි කරමින් පාරිභෝගිකයින් සූරාකෑමට පෙළඹී ඇති බව කාරක සභාවේ නිගමනය වී තිබෙනවා.

මේ අතර, 2023 වසරේ වියළි හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් ආනයනය සඳහා රුපියල් 496ක මුදලක් වෙළෙඳුන් වැය කර ඇති අතර හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් පාරිභෝගිකයාට අලෙවි කර ඇත්තේ රුපියල් 1,307යි ශත 5කටයි. ඒ අනුව රුපියල් 811යි ශත 5ක ලාභයක් හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් තුළින් එම වෙළෙඳුන් ලබාගෙන තිබෙන අතර එය වැය කළ මුදලට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස සියයට 164ක ලාභයක්.

2023 වසරේදී උම්බලකඩ කිලෝග්‍රෑමයක් ආනයනය සඳහා වෙළෙඳුන් රුපියල් 841ක මුදලක් වැය කර ඇති නමුත් උම්බලකඩ කිලෝග්‍රෑමයක් පාරිභෝගිකයාට අලෙවි කර ඇත්තේ රුපියල් 3,160කටයි. ඒ අනුව උම්බලකඩ කිලෝග්‍රෑමයකින් රුපියල් රුපියල් 2,319ක ලාභයක් ඔවුන් උපයා ඇති අතර එය වැය කළ මුදලට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස සියයට 276ක ලාභයක්.

2023 වසරේ මුං ඇට කිලෝග්‍රෑමයක් ආනයනයට වෙළෙඳුන් වැය කර ඇති මුදල රුපියල් 427ක්. නමුත් මුං ඇට කිලෝග්‍රෑමයක් පාරිභෝගිකයාට අලෙවි කර ඇත්තේ රුපියල් 1,275කට වන අතර වැය කළ මුදලට සාපේක්ෂව ඒ හරහා උපයා ඇති ලාභය ප්‍රතිශතයක් ලෙස සියයට 198ක් බව වාර්තාවේ දැක්වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *