අවම වැටුප ගැන වතු හාම්පුතුන්ගේ පෙත්සම සළකා බැලීම කල් තැබේ

වතු කම්කරුවන් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් ගොනුකර තිබෙන පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (31) නියෝග කළා.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම අද කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබුණා

ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21 ක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එහි වග උත්තරකරුවන් ලෙස කම්කරු ඇමති මනුෂ නානායක්කාර, කම්කරු කොමසාරිස්වරයා ඇතුළු 52 ක් නම්කර තිබෙනවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම පෙත්සමට අදාළ කරුණු තහවුරු කිරීම් මේ මස 31 වනද සිදු කරන ලෙසයි.

පෙත්සම්කාර වැවිලි සමාගම් ප්‍රකාශ කරන්නේ වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප වශයෙන් 1350ක් සහ රුපියල් 300ක් දීමනාවක් මෙන්ම තවත් රුපියල් 80ක දීමනාවක් අවම වැටුප වශයෙන් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් ඉකුත්දා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි.

මීට අදාලව ඉකුත් දා පැවති මැයි දින රැලිවලදී ද දේශපාලකයින් විසින් අදහස් පල කර තිබූ බවත් පෙත්සම්කරුවන් සඳහන් කළා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන්ගෙන් කරුණු විමසීමකින් තොරව මෙවැනි තීරණයක් ගැනීමට කම්කරු අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය තුළින් ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය වන බවයි.

මෙය සම්පූර්ණයෙන්ම අතනෝමතික ආකාරයෙන් ගත් තීරණයක් බවත් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා වැවිලි සමාගම් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *