ආන්දෝලනාත්මක වන්නි දිස්ත්‍රික්කයේ නාමයෝජනා පත්‍රය ගැන පෙත්සම සලකා බැලීම හෙට

ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා
වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලබූ තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ගොනු කළ පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදකවන කරුණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් උපදෙස් ලබාගෙන කරුණු ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම හෙට දින සලකා බැලීම සඳහා කැඳවීමටද නියම වුණා.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ අදාළ
පක්ෂයේ බලය ලත් නිලධාරී පරරාජසිංගම් උදය රාසා සහ තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු විසින්.

එහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු එහි සාමාජිකයින්, වන්නි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනු කර තිබෙන අදාළ පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා තමන් වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් එහි තේරීම් භාර නිලධාරියාට සිය නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කළ බවයි.

එම අවස්ථාවේදී අදාළ නාමයෝජනා පත්‍රය විධිමත් ලෙස ඉදිරිපත් කර නොමැති බව සඳහන් කරමින් එය භාර ගැනීම තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

සියලු ලේඛන විධිමත්ව ඉදිරිපත් කර තිබියදී සිය නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවත් එම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙතිසම ඉදිරිපත් කර තිබෙනවා.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු වන්නි දිස්ත්‍රික්කය සඳහා ලබන නොවැම්බර් මස 14 වනදා මහ මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ අතුරු තහනම් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *