ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධියට ගුරුවරයාගේ සහ මවගේ දුරකථන පොලිස් භාරයට

සාමාන්‍ය පෙළ විභාගයේ පෙරේදා පැවති ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය වට්ස් ඇප් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම සම්බන්ධයෙන් හසලක ප්‍රදේශයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම් කටයුතු කරන උපකාරක පංති ගුරුවරයාගේ සහ ඔහුගේ මවගේ ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම, ඔවුන්ගෙන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය වට්ස් ඇප් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීම සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

මෙම සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි ඔහු කියා සිටියේ.

එසේම මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ පෙරේදා ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතරතුර විභාගයට පෙනී සිටි සිසුන් කිහිපදෙනෙකු පිළිතුරු හුවමාරු කර ගැනීමේ අපේක්ෂාවෙන් මෙලෙස ප්‍රශ්න පත්‍රය සංසරණය කර ඇති බවයි.

කොළඹ, කොටහේන සහ හසලක යන ප්‍රදේශවලින් එම සිදුවීම් වාර්තා වුණා.

පසුව ඒ සම්බන්ධයෙන් අදාළ පොලිසි වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට විභාග දෙපාර්තමේතුව කටයුතු කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *