ඉරානයට එරෙහි ප්‍රහාරයකට සහය නොදක්වන බවට ඇමරිකාවෙන් ප්‍රකාශයක්

ඉරානයට එරෙහි ප්‍රති ප්‍රහාරයකට තම සහය ලබා නොදෙන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට දැනුම්දී තිබෙනවා.

ඊශ්‍රායලයේ යුද කැබිනට් මණ්ඩලය ඊයේ රැස් වීමෙන් අනතුරුව ඉරාන ප්‍රහාරයට සැලකිය යුතු ප්‍රතිප්‍රහාරයන් එල්ල කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනුයි ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

ඇමරිකාව, ඊශ්‍රායලය ආරක්ෂා කර ගැනීමට සහය දක්වන නමුත් යුද්ධයක් අවශ්‍ය නොවන බවටයි ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි ඊයේ ප්‍රකාශ කළේ.

ජෝර්දානයේ අබ්දුල්ලා රජු ද ඇමරිකානු ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලයෙන් ප්‍රහාර එල්ල කිරිම කලාපයේ ගැටුම් තවදුරටත් උග්‍ර කරනු ඇති බවයි.

ජෙනරාල්වරුන් දෙදෙනෙකු ඇතුළු 13 දෙනෙකුට මරු කැඳවමින් අප්‍රේල් 1 වැනිදා සිරියාවේ පිහිටි සිය කොන්සල් කාර්යාලයට පහරදීම සම්බන්ධයෙන් දඬුවම් ලබාදෙන බවට ප්‍රකාශ කළ ඉරානය, ඊශ්‍රායලයට ප්‍රහාර මාලාවක් දියත් කිරීම ආරම්භ කරනු ලැබුවේ ඊයේ සිටයි.

ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන, කෲස් සහ බැලස්ටික් මිසයිල 300කට වැඩි ප්‍රමාණයක් දියත් කළ නමුත් ඉන් සියයට 99 ක්ම ඊශ්‍රායල අයන්ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතියෙන් ව්‍යර්ථ කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ දකුණු ප්‍රදේශයේ හමුදා කඳවුරට සුළු හානි සිදු වී ඇති බවට තොරතුරු වාර්තා වුණා. ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ අසල්වැසි රටක් වන ජෝර්දානය ද එරටට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *