උද්දිකට වෙඩි තියාලා තියෙන්නේ උද්දිකමයි

රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නගේ අනුරාධපුර නිවස අසලදී, ඔහුගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය, ඔහු සහ සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් සංවිධානය කළ කටයුත්තක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව අනාවරණ කරයි.

මූලික විමර්ශනවලට අනුව උද්දික ප්‍රේමරත්න සහකාර පොලිස් අධිකාරීවරයා සමඟ එක්ව මෙම සිද්ධිය සැලසුම් කර ඇති බව පැවැසේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි ප්‍රහාරය එල්ල වූයේ, 2023 සැප්තැම්බර් 17 වැනිදාය. වෙඩි තැබීමෙන් මෝටර් රථයේ පැති වීදුරුවට හානි සිදුවී ඇතත් මන්ත්‍රීවරයාට තුවාල සිදුවී නොතිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන තිබේ.

මෙම සිදුවීමේ සැකකරුවකු වන සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම පොලිස් දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව රටින් පිටව ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිතය.

විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයා පසුගිය අඟහරුවාදා මැලේසියාවට ගිය බවයි.

මීට අමතරව, සැකකාර සහකාර පොලිස් අධිකාරීවරයා කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඔහුට නිකුත් කළ පෞද්ගලික ගිනි අවිය වෙනත් පුද්ගලයකු මාර්ගයෙන් ඔහුගේ සේවා ස්ථානයට එවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය වෙනත් අයෙකු සන්තකයේ තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

උද්දික ප්‍රේමරත්න පසුගිය පෙබරවාරි 27 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී විදේශගත විය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *