උමාඔය යටතේ සුලෝචනා සහ දසුනිටත් කළගුණ දක්වයි

උමා ඔය ව්‍යාපෘතිය යටතේ ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ භූගතව ස්ථානගත කර ඇති ටර්බයින යන්ත්‍ර දෙක හරහා මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කෙරෙනවා.

එම ටර්බයින යන්ත්‍ර දෙක සුළු සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කිරීම විශේෂත්වයක්.

මීටර 300ක් පමණ ගැඹුරක සිට ඉංජිනේරුවන් සහ කම්කරුවන්ට සහය වෙමින් තේ පැන් ආදිය සකසා දුන් සුලෝචනා සහ දසුනි යන සේවිකාවන් දෙදෙනාට ගෞරවයක් ලෙසයි ඉරාන ජාතිකයින් ඔවුන්ගේ නම් එම යන්ත්‍ර දෙකට තබා ඇත්තේ.

එක් සේවිකාවගේ නම සුලෝචනා වුවත් ඉරාන ජාතිකයින්ගේ උච්චාරණය අනුව එය නම් කර ඇත්තේ චුලෝචනා ලෙසයි.

මේ අතර ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අනිද්දා දිවයිනට පැමිණෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද තහවුරු කළා.

ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ යුදමය වශයෙන් ඉරානය පිළිබඳව ලෝකයේම අවධානය යොමුව ඇති පසුබිමකයි.

දශක ගණනාවක ඉරාන – ඊශ්‍රායල සීතල යුද්ධය පුපුරා යෑමත් සමග මේ වනවිට මැදපෙරදිග කලාපය යුදමය වශයෙන් උණුසුම් වී තිබෙනවා.

ඒ, ඉරානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කිරීම සහ ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත් සමගයි.

ඉරාන කඳවුර සහ ඊශ්‍රායල කඳවුර වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්ව පිළිබඳව මෙහිදී දැඩි අවධානයක් යොමු වූ අතර ඉරාන ජනපතිගේ විදෙස් සංචාර පිළිබඳවත් මතුව තිබුණේ අවිනිශ්චිත තත්ත්වයක්.

කෙසේවෙතත් ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ පාකිස්ථානයට පැමිණියේ එවන් පසුබිමකයි

ඉරාන ජනපතිගේ පාකිස්ථාන සංචාරය අතරතුර එරට අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් ඇතුළු ඉහළ පෙළේ නායකයින් හමුවීමට නියමිත අතර වෙළෙඳ, දේශපාලනික මෙන්ම කලාපීය ආරක්ෂාව පිළිබඳවත් එහිදී අවධානය යොමු කරනු ඇති බව රොයිටර්ස් පුවත් සේවය සඳහන් කළා.

ඉරාන ජනාධිපතිගේ මෙරට සංචාරයට සමගාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි

උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය පිළිබඳ සාකච්ඡාවක් අද පැවැත්වුණු අතර ඊට වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, මෙරට ඉරාන තානාපතිවරයා මෙන්ම ඉරාන ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් සහභාගි වී තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *