ඕමානයේ ගංවතුරෙන් 18 දෙනෙක් ජීවිතක්ෂයට :ගුවන් ගමන් නවතියි

අධික වර්ෂාව සහ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් ඕමානයේ පුද්ගලයින් 18 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

හදිසි කළමනාකරණය සඳහා වූ ජාතික කමිටුව පැවසුවේ ගලවා ගැනීමේ කණ්ඩායම් තවමත් අතුරුදන් වූ පුද්ගලයන් දෙදෙනෙකු සෙවීමේ කටයුතු සිදු කරන බවයි.

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් එරට රජය විසින් Musandam, Al Buraimi, Al Dhahirah සහ Al Dakhiliyah කාර්යාල පහක රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ සහ කම්කරුවන්ගේ වැඩ අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම ප්‍රදේශ හයක සියලුම පාසල් වසා දමන බවයි ඕමානයේ බලධාරීන් වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර හමාගිය ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු කලාපීය රටවලට අධික වර්ෂාපතනයක් බලපා තිබෙනවා.

වසර 75කට පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වාර්තා වූ උපරිම වර්ෂාපතනය ලෙස මෙය සඳහන් වන අතර ලොව වඩාත් ම කාර්යබහුල ගුවන්තොටුපොළක් වන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ ද ජලගැලීම් සිදුව ඇති ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

එබැවින් එහි කටයුතු සීමා කිරීමට බලධාරීන්ට සිදුව ඇති අතර තවත් ගමන් වාර රැසක් වෙනත් ගුවන් තොටුපොළ වෙත යොමුකිරීමටත් පියවර ගෙන තිබෙනවා.

මේ අතර එමිරේට්ස්, ෆ්ලයි ඩුබායි ඇතුළු ගුවන් සේවා රැසක් ඩුබායි වෙත මෙහෙයුම් තාවකාලිකව නවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම වර්ෂාපතනය හේතුවෙන් ඩුබායි ඇතුළු එමීර් රාජ්‍යය කලාප හතෙන්ම ජලගැලීම් වාර්තා වන අතර ලොව සුප්‍රකට ඩුබායි සාප්පු සංකීර්ණය, එමිරේට්ස් සාප්පු සංකීර්ණය ද අඩි හිහිපයක් ජලයෙන් යට වී ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල පළවන රූපරාමු තුළින් පෙන්නුම් කරන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *