කටුනායක වීසා අවුල ගැන ඉන්දියාව කියන දේ

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සිදුකළ බව පැවසෙන ඉන්දීය පෞද්ගලික සමාගමක් සිය රට තුළ ක්‍රියාත්මක සමාගමක් නොවන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා.

ඔවුන් සඳහන් කරන්නේ එම සමාගමේ කිසිදු කාර්යාලයක් හෝ සාමාජිකයින් සම්බන්ධයෙන් සදහනක් නොමැති බවයි.

ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී අදාළ ඉන්දීය සමාගම මැදිහත්වීම් නිසා ඊයේ (01) උණුසුම තත්වයක් හට ගෙන තිබුණා.

පසුව ඔවුන් එම කටයුතු වලින් ඉවත් කිරීමට සිදුවූ අතර, ආගමන විගමන නිලධාරින් විසින් එම වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට සිදුකරන බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය අප ප්‍රවෘත්ති කළ විමසීමකදී සඳහන් කළේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට ගුවන්තොටුපොළේදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළේ 2012 වසරේදීයි.

එහිදී සාර්ක් රටවල්වල සිට පැමිණෙන සංචාරකයින්ගෙන් අමෙරිකානු ඩොලර් 20ක් සහ වෙනත් රටවලින් පැමිණෙන සංචාරකයින්ගෙන් ඩොලර් 50ක් වීසා ගාස්තු ලෙස ගුවන්තොටුපොළේදී අයකරනු ලැබුවා.

කෙසේ නමුත් වසර ගණනාවක් එම ක්‍රියාවලිය නිසි පරිදි යාවත්කාලීන නොවූ පසුබිමක එය යාවත්කාලීන කිරීමේ අරමුණින් ඉන්දීය පෞද්ගලික සමාගමක් සමග ආගමන විගමන දෙපාර්තමේන්තුව ගිවිසුමකට එළඹ තිබුනේ මෙරටට පැමිණෙන සංචාරකයින්ට ගුණාත්මක සේවාවක් සැපයීමේ අරමුණින්.

ඒ අනුව, පසුගිය අප්‍රේල් මස 17 වැනිදා සිට ඉන්දීය පෞද්ගලික සමාගමක් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළ කටයුතු මෙහෙයවීම ආරම්භ කළා.

ඔවුන් සංචාරකයෙකුට සිය සේවාව සැපයීම වෙනුවෙන් වීසා ගාස්තුවට අමතරව ඇමරිකානු ඩොලර් 18ත් 25ත් අතර මුදලක් අයකිරීමට කටයුතු කර තිබුණා.

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් චීනය, ඉන්දියාව සහ රුසියාව ඇතුළු රටවල් 07ක් වීසා ගාස්තු වලින් නිදහස් කර තිබුණත් එම රටවල සිට පැමිණෙන සංචාරකයින්ගෙන්ද මෙම ඉන්දීය සමාගම සේවා සැපයීම වෙනුවෙන් ඩොලර් 22ක මුදලක් අයකරන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මෙවන් පසුබිමක ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකුට එම ඉන්දියානු සමාගම හරහා වීසා ලබාගැනීමට ගිය අවස්ථාවේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *