කතානායක අශෝක රන්වලගේ උපාධි කතාව දුරදිග යයි. හිටපු මැ.කො.ත් මැදිහත් වෙයි.


ජාතික ජන බලවේගය විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පත් කරන ලද අශෝක සපුමල් රන්වල තමන් ලද මූලික උපාධිය සහ ආචාර්ය උපාධිය ලෙස සඳහන් කර ඇති තොරතුරු සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක්ම මේ වන විට ප්‍රශ්න කරමින් තිබේ.

මුලින්ම රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කුමාර කළුආරච්චි විසින් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ද මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කොට රන්වල විසින් සපයන ලද තොරතුරු සාවද්‍ය නම් ඔහු ඒ බව පිළිගෙන ඉල්ලා අස්විය යුතු බව ද තම ෆේස් බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශ කළ බව අපි මින් පෙර සඳහන් කළෙමු.

මේ තත්ත්වය තවත් සමාජ කතිකාවතක් බවට පත්වෙමින්, සමාජ ක්‍රියාකාරකයෙකු මෙන්ම, මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයෙකු ද වන මහින්ද දේශප්‍රිය විසින් ද මේ සම්බන්ධයෙන් තම විවේචනය ඉදිරිපත් කොට තිබේ.

“කථානායකතුමනි
උපාධි හිමිබව ඔබ කීවේ නම් හිමිබව සනාථ කරන්න.බැරිනම් අස්වෙන්න. ඒමුකුත් නොකළොත් පක්ෂය ඒගැන ක්‍රියා කරන්න ඕනෙ.”

යනුවෙන් තම ෆේස් බුක් ගිණුමේ සටහන් කරන මහින්ද දේශප්‍රිය තවදුරටත් පවසන්නේ මෙසේ ය.

“මේ විමසීම සක්‍රීය පුරවැසියන් නැතහොත් මහජන විපක්ෂය වෙනුවෙන් මිස ආණ්ඩුවට වලියක් දැමීම සඳහා නොවේ.

ගරු කථානායකතුමා ගේ ආචාර්‍ය පට්ටම ගැන පැතිරයන කතන්දර නිසා මෙන්ම මේ ගැන අපෙන්ද විමසන නිසා මේ සටහන් ලිවීමි.

කතානායක නොව ජනාධිපති තනතුරටද උපාධි අවශ්‍ය නැත. මූලික සුදුසුකමවූ ඡන්දහිමියකු වීම හා ( ජනාධිපති වීමට වයස 30+ වියයුතුය ) නිශ්චිත නුසුදුසුකම්වලට යටත් නොවීම හා අවශ්‍ය තරම් ඡන්ද ලැබීම ප්‍රමාණවත්ය.

කථානායකතුමාට තිබෙන බව කියන උපාධි ඇත්තට තිබේ නම් හෝ එතුමා නැති උපාධි තිබේයයි කියා නැත්නම් කිසිම අවුලක් නැත.

එසේවුවත් තමාට ඒ උපාධි තිබෙන බව වාචිකව හෝ ලිඛිතව එතුමා විසින්ම කියා ඇත්නම් අවුලකි.

එවිට කළ හැකි එකම දෙය ගරු අනුර කුමාර දිසානායක ජනපතිතුමා ඇතුලු මාලිමාවේ ගරු කටයුතු දේශපාලඥයන්ගේත් ගෞරවය හා මාලිමාවට ඡන්දය දුන් පුරවැසියන්ගේ ගෞරවය වෙනුවෙන් ඉල්ලා අස්වීම පමණි .”


සටහන

ජනතා ඡන්දයෙන් පත් වූ පුද්ගලයෙකුට කතානායක තනතුරට පත්වීම සඳහා වෙනත් සුදුසුකමක් අවශ්‍ය නොවේ. නමුත් ගැටළුව වන්නේ අශෝක රන්වල ලබා දී ඇත්තේ සාවද්‍ය තොරතුරු නම්, රාජ්‍යයේ ප්‍රමුඛතම තනතුරක් දරන පුද්ගලයෙකු විසින් මෙසේ සාවද්‍ය අධ්‍යාපන සුදුසුකම් (තමන් ලබා නොගත්) සඳහන් කිරීම බරපතල වරදක් වීම ය.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *