කමිඳු මුල් පෙළට, කුසල් පසු පෙළට කිවියන් පරද්දන අළුත්ම සැලසුම මෙන්න

දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහි දකුණු අප්‍රිකාවේ පැවති පළමු නිල නොවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතකයක් හා අර්ධ ශතකයක් ලබාගත් ඕෂධ ප්‍රනාන්දු හදිසියේම ශ්‍රී ලංකාවට කැඳවා තිබෙනවා.

ඒ, එළැඹෙන නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට එක්කිරීම සඳහායි.

ඒ අනුව, නිමාවට පත්වූ එංගලන්තය සමඟ ටෙස්ට් තරගාවලියේදී ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ නිශාන් මධුෂ්ක වෙනුවට ඕෂධ ප්‍රනාන්දු නවසීලන්ත ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට එක්වීමට නියමිතයි.

මේ අතර, එංගලන්තයේදී කඩුලු රකිමින් සිටියදී පිටකොන්දේ ආබාධයකට ලක්වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට කුසල් මෙන්ඩිස් හෝ සධීර සමරවික්‍රම කඩුලු රැකීම සඳහා සූදානම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

එබැවින් කුසල් හෝ සධීර කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු ලෙස අංක 7 ස්ථානයේ පන්දුවට පහරදෙනු ඇති බව සඳහන්.

පළමු ටෙස්ට් තරගයේදී පිතිකරණ අනුපිළිවෙළ වෙනස් කිරීමට අපේක්ෂා කරන අතර, කමිඳු මෙන්ඩිස් ඉදිරි පෙළ පිතිකරුවකු ලෙස පන්දුවට පහරදෙනු ඇතැයි පැවසේ.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක මැන්චෙස්ටර් හා ලෝඩ්ස් ක්‍රීඩාංගණවලදී පැවති ටෙස්ට් තරග දෙකේදී ඉනිම හතරකදී ලකුණු 24ක් පමණක් ලබාගත් හෙයින් ඔහු වෙනුවට මේ දිනවල ලකුණු අතර සිටින ඕෂධ ප්‍රනාන්දු කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ‘ඒ’ කණ්ඩායම් අතර පළමු නිල නොවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ජයගත් අතර, එහිදී ඕෂධ ප්‍රනාන්දු ලකුණු 122ක් හා ලකුණු 80ක් වාර්තා කොට තරගයේ වීරයා සම්මානය දිනාගත්තා.

ඕෂධ වසර 2019 සිට ටෙස්ට් තරග 21කදී ශ්‍රී ලංකා පිල නියෝජනය කළ අතර, 2023දී වෙලින්ටන්හි නවසීලන්තය සමඟ තරගයෙන් පසු ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කර නොමැත.

ටෙස්ට් ශතකයක් හා අර්ධ ශතක 7ක් එක්කොට ඇති ඔහුගේ ටෙස්ට් ලකුණු සාමාන්‍ය 33.06ක්.

මෙම ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අතර, අද ගාල්ල ක්‍රීඩාංගණයේ පුහුණුවීම් ආරම්භ කෙරේ.

අයිසීසී ටෙස්ට් ශූරතාවලියට අයත් මෙම ටෙස්ට් තරගාවලිය අනිද්දා (18) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවන අතර, මේ 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් එදින තරගයට නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව, දෙපිල අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය මේ මස 26දා සිට 30දා දක්වා පැවැත්වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *