කයිවාරුවෙන් සහ භේදබින්නවලින් තොරව තමන්ට වඩා රට ගැන සිතා අප කටයුතු කරමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

රණසිංහ ප්‍රේමදාස මහතා පවා රටේ බලය ලබා ගත්තේ ත්‍රස්තවාදී යුද්ධ දෙකකට රට මුහුණ දෙන මොහොතක බවත් එවැනි තත්ත්වයක් පැවැතියත් එතුමා කවදාවත් රටේ සංවර්ධනය අඩපණ නොකළ බවත් එතුමා කවදාවත් ආර්ථිකය සංකෝචනය නොකළ බවත් අවංකවම සැවොම එකතු කර ගත් ආර්ථීක වර්ධනයක් මෙන්ම සැමදෙනා බෙදා ගත් සෞභාග්‍යයක් හා සමාජ සාධාරණත්වය හා යුක්තිය රජයන යුගයක් අපේක්ෂා කළ බවත් අදත් යුගයේ අවශ්‍යතාව වී ඇත්තේ එය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ඉලක්ක කරා යාම ලෙහෙසි පහසු ගමණක් නොව දුෂ්කරතා බාධා සහිත ගමනක් බවත් කතාවෙන් එම ඉලක්ක සම්පූර්ණ කර ගත නොහැකි නිසා මුළු රටටම විසඳුම් සැපයිය යුතු බවත් එම පිළිතුරු ධනාත්මක හරාත්මක ප්‍රතිඵපලදායී විසඳුම් සහ උත්තර විය යුතු බවත් ඒ වෙනුවෙන් යන ගමන දිනවකවානු සහ කාලවකවානු සහිතව යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සෑම අතකින්ම අන්ධකාරයෙන් පිරුණු රටට ආලෝකය ගෙන දෙන්නට ජාති ආගම් කුලමළ ගෝත්‍ර පන්ති තරාතිරම් පක්ෂ භේදයකින් තොරව එකතු විය යුතු බවත් එම එකතුවීම තමන්ගේ තැන, පවුල, ගජමිතුරන් රැකගැනීම වෙනුවෙන් සිදු නොවිය යුතු බවත් එකතු වීම සිදුවිය යුත්තේ දේශපාලන අවස්ථාවාදීත්වය පැත්තකට දමා ජාතික, ජනතාවගේ, රටේ හා යුගයේ අවශ්‍යතාව කේන්ද්‍ර කර ගෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අදට යෙදී තිබූ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31 වැනි ගුණඅනුස්මරණය වෙනුවෙන් එතුමාගේ පිළිරුව අභියස පැවැති උත්සවය අමතමිනි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පවා පවුලට පෙර රටට පෙර ගැන සිතූ අයකු බවත් කිසිදු අවස්ථාවක පවුලේ සාමාජිකයන්ට, ඥාතීන්ට සහ ගජමිතුරන්ට ප්‍රමුඛත්වය නොදී රටේ සියලුම ජනතාව රටේ ගජමිතුරන් ලෙස සැලකූ බැවින් ඒ ගමන අපද යා යුතු බවත් එතුමා ගිය සංවර්ධන ඉලක්ක අභිබවා යන යුගය අප එකතු වී නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ආදරය කළ සුවහසක් අප රටේ ජනතාව මේ වන විට අසහනයෙන් පිඩනයෙන් දරිද්‍රතාවෙන් හා ප්‍රශ්න රැසකට ගොදුරු වී ඇති බවත් එතුමා සත්‍යවාදීව හා යථාර්ථවාදීව සැමරීම කළ යුත්තේ අප රටේ දුකින් පෙළෙන අසහනයට පීඩනයට පත් වන ලක්ෂ 220ක් අපේම රටේ ජනතාවගේ දුක නිවා කණගාටුව වෙනුවට සතුට නිර්මාණය කරමින් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද රට පවතින තත්ත්වය තුළ අලුත් අභියෝගවල අලුත් විසඳුම් ලබා දෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම රණසිංහ ප්‍රේමදාස මහතා සැබවින්ම අනුස්මරණය කිරිම බවට තමා විශ්වාස කරන බවත් සෑම තැනකම නැතිබැරිකම, ජීවනෝපාය කඩා වැටීම, සමස්ත දේශයම ආර්ථික ක්‍රියාදාමය අඩපණ වීම, රටේ ජනතාවගේ දුකට කණගාටුවට අසහනයට පීඩනයට හේතු වී ඇති බවත් මේ දුෂ්කර අවස්ථාවේ අප ජනතාව වෙනුවෙන් සැබවින්ම පෙනී සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 386

Leave A Reply

Your email address will not be published. Required fields are marked *