කරඳගොල්ලේ නායයෑම් උමා ඔය ව්‍යාපෘතිය නිසාද?

ඇල්ල, කරඳගොල්ල සහ මලිත්තගොල්ල යන ප්‍රදේශවල සක්‍රීය වී ඇති නායයාම සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ උමා ඔය ජලාශයේ උමගට ජලය පිරවීමත් සමග බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

තත්ත්වය වර්ධනය වුවහොත් කරඳගොල්ල ප්‍රදේශයෙන් ඇල්ල – වැල්ලවාය මාර්ගයටද දැඩි අවදානමක් මතුවිය හැකි බවයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ.

උමා ඔය ව්‍යාපෘතියට අයත් ඩයබරා ජලාශයට කිලෝමීටර් දෙකහමාරක් පමණ පහළින් පිහිටි ඇල්ල කරඳගොල්ල 10 කණුව ප්‍රදේශයේ නායයාමේ අවදානමක් මතුව තිබෙන්නේ පෙරේදා අලු‍යම් කාලයේදීයි.

කරඳගොල්ල ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ උමා ඔය ජලාශයේ උමගට ජලය පිරවීම මීට සතියකට පෙර ආරම්භ කළ අතර ඒ සමග මෙම නායයාමේ තත්ත්වය උද්ගත වී ඇති බවටයි.

මෙම නායයාම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන භූ විද්‍යාඥ හර්ෂණී පෙරේරාගෙන් විමසීමක් කළා.

එහිදී ඇය සඳහන් කළේ පළමු වරට මෙම කරඳගොල්ල නමැති ස්ථානයේ නායයාමක් හඳුනා ගත්තේ 2016 වසරේදී බවයි.

එම අවස්ථාවේදී නිවාස 8ක පදිංචිකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවත්, 2023 වසරේ නොවැම්බර් මාසයේදී යළිත් වරක් මෙම ප්‍රදේශයේ නායයාම සක්‍රීය වීම හේතුවෙන් තවත් නිවාස 5ක පදිංචිකරුවන් ඉවත් කිරීමටද කටයුතු කළ බව ඇය ප්‍රකාශ කළා.

උමා ඔය ව්‍යාපෘතියේ ජලය රැගෙන යන උමං මාර්ගය සහ මෙම නායයාමේ සිද්ධිය අතර, සම්බන්ධයක් ඇති බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයකින් තහවුරු වී නොමැති බවයි බදුල්ල දිස්ත්‍රික් ප්‍රධාන භූ විද්‍යාඥවරිය වැඩිදුරටත් සඳහන් කලේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *