කළු ගංතොට සිංහයා වෙනුවෙන් හිටපු ජනපති තැබු ශෝක ප්‍රකාශය

දශක හතරකට අධික කාලයක් කළු ගංතොට මිටියාවතේ මිනිසුන් වෙනුවෙන් සිය දේශපාලන දිවිය කැප කළ මා හිත මිත්‍ර හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වූ පුවත ඇසීමෙන් මම බලවත් සංවේගයට පත්වූයෙමි.

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ නම් දැරූ ව්‍යාපාරිකයකු වන එස්.ඒ වෙල්ගම සහ බ්‍රියට්‍රිස් වෙල්ගම දෙමාපියන් දාව 1950 අප්‍රේල් 05 වැනිදා උපන් කුමාර වෙල්ගම මහතා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂයෙකි.
අසූව දශකයේ මුල දේශපාලනයට පිවිසෙන තරුණ කුමාර වෙල්ගම මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුගම අගලවත්ත ආසනය භාර දීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය තීරණය කළ අයුරු මට අද මෙන් මතකය.
එසේ ශ්‍රීලනිපයට එක්වූ කුමාර වෙල්ගම මහතා සහ මා අතර ඇතිවූ මිත්‍රත්වය එතුමා මියයනතුරුව නොනැසී පැවතිණි.

2005 ජනාධිපතිවරණයට තරග කළ යුත්තේ කවුරුන්දැයි අප පක්ෂය තුළ එකල ඇති වූ සංවාදයේ දී මා ඒ සඳහා ඉදිරිපත් විය යුතු බව එකහෙළා කී මන්ත්‍රීවරුන් අතර කුමාර වෙල්ගම මහතා ඉදිරියෙන්ම සිටි බව එතුමාට කෘතගුණ දැක්විමක් වශයෙන් මේ මොහොතේ සිහිපත් කළ යුතුය.
මතුගම අගලවත්තට පමණක් නොව මුළු කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවටම මතකයේ රැඳෙන සේවයක් කිරීම එතුමාගේ එකම අභිප්‍රාය විය. අපේ ගමේ මිනිස්සුන්ට වැඩක් කරන්න පුළුවන් වගකීමක් මට දෙන්න යැයි එතුමා මට නොයෙක් වර ප්‍රකාශ කර තිබේ. එතුමාට උවමනාව තිබුනේ රජයේ යම් සංවර්ධන වැඩපිළිවෙලක් ඇත්නම් එහි ප්‍රතිලාභයක් කළුතර ජනතාවට ද උරුම කර දීමය.

2000 වසරේ පටන් නියෝජ්‍ය අමාත්‍යධුර කිහිපයක් හෙබවූ කුමාර වෙල්ගම මහතා 2005 වසරේ මා බලයට පත්වීමත් සමඟ කර්මාන්ත අමාත්‍යධුරයටත්, 2010 වසරේ දි ප්‍රවාහන අමාත්‍යධුරයටත් පත්වෙමින් සුවිසල් සේවයක් ඉටු කළේය. දේශපාලනය සහ සැබෑ ලෝකය ලෙස මත ගැටුමක් ඔහුට නොතිබිණි. ඔහු සැම විටම සෘජු මතධාරියෙකි. ඔහුට හැඟෙන සත්‍යය ඔහු නොපැකිළිව සමාජය මත තැබුවේය. මහින්ද සුළඟ හැමුවේ කුමාර වෙල්ගම වැනි කෘතහස්ත දේශපාලඥයන් කිහිපදෙනෙකුගේ ධෛර්යෙනි. ඒ අතීතය ජීවතුන් අතර සිටියදිත් මම ඔහුට සිහිපත් කළෙමි.

මා දන්නා කුමාර වෙල්ගම ට දේශපාලනයේ හතුරන් සිටියේ නැත. ඔහු නිරතුරු මිත්‍රත්වයට අත වැනූවෙකි. ඒ නිසා අරගලය අතරවාරයේ දී නොමිනිසුන් අතින් ඔහුට සිදුවූ ශරීර පීඩාවත් ඉන් රෝගාතුර වීමත් ඔහු කිසි කලෙක බලාපොරොත්තු නොවූවකි. දේශපාලනයේ පරිණතබාවය මත මේ හැමදේම සම සිතින් ඉවසිමට කුමාර වෙල්ගම මහතා කටයුතු කළ ආකාරය ද ආදර්ශයකි. 1994 පාර්ලිමේන්තුවට පැමිණි දා පටන් අඛණ්ඩව දශක තුනක් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට කුමාර වෙල්ගම මහතාට හැකිවන්නේ ඔහු සෑම විටම ජනතාවාදී දේශපාලනයේ සළකුණක් වූ නිසාය.

කළුගංතොට ජනතාව විසින් කළුගන්තොට සිංහයා නම් අන්වර්ථ නාමයකින් ආමන්ත්‍රණය කිරීමට තරම් භාග්‍යවන්තයකු වු කුමාර වෙල්ගම මහතාගේ වියෝව සමස්ත දේශපාලනයටත් රටටත් සිදු වූ පිරිමැසිය නොහැකි පාඩුවකි.
අවුරුදු 74ක් ආයු වළඳා අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ වියෝවෙන් ශෝකයට පත් එතුමාගේ බිරිඳටත්, සෙනාල් ඇතුළු දූ පුතුන්ටත්, එතුමාගේ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සාමාජිකයන්ටත්, ඥාති හිතමිත්‍රාදීන් සහ කළුතර මතුගම හා අගලවත්ත ප්‍රදේශයේ සියලුම ජනතාවටත් මාගේ සහ පවුලේ සාමාජිකයන්ගේත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේත් ශෝකය මෙයින් ප්‍රකාශ කරමි.

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට උතුම් නිවන් සුව ලැබේවා!

මහින්ද රාජපක්ෂ
පස්වන විධායක ජනාධිපති
2024 සැප්තැම්බර් 30 දින දී ය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *