ක්ලබ් වසන්තව ඝාතනය කිරීමට වියදම් කළ මුදල් ගැන අනාවරණයක්

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කළ වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

මේ වන විට මෙම ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව 10ක් බවයි පොලිසිය සඳහන් කළේ.

දෙදෙනෙකු ඝාතනය කළ වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් සැපයීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය 8 වැනිදායි.

මෙම සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අතුරුගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශවලදී ඊයේ පස්වරුවේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එම සැකකරුවන් වෙඩික්කරුවන්ට සහ ඔවුන් පැමිණි මෝටර් රථයේ රියැදුරුට ප්‍රවාහන පහසුකම් ලබාදුන් බවටයි චෝදනා එල්ල වන්නේ.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් ඝාතන සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු සහ මෝටර් රථයේ රියදුරු කොරතොට ප්‍රදේශයේ සිට වැලිහිඳ ප්‍රදේශය දක්වා රැගෙන ගිය වෑන් රථයේ රියදුරායි.

පසුව එම වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයට රැගෙන ගොස් සඟවා ඇත්තේද එම සැකකරු විසින් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු වෙඩික්කරුවන් සහ වෑන් රථයේ රියදුරුව වැලිහිඳ ප්‍රදේශයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ දික්වැල්ල ප්‍රදේශය දක්වා බස් රථයකින් රැගෙන ගිය බස් රථ රියදුරු බවයි පොලිසිය සඳහන් කළේ.සැකකරු එම බස් රථය සෙල්ලකතරගම ප්‍රදේශයේ සඟවා තිබුණා.

අත්අඩංගුවට ගත් බස් රථයේ රියදුරු 36 හැවිරිදි අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මෙම ඝාතනය මෙහෙයවූ බව පැවසෙන ලොකු පැටීගේ ඥාතියෙකු බව මේ වන විට අනාවරණ වී තිබෙනවා.

ඔහු අවස්ථා කිහිපයකදී විදෙස් රටක සිටින ලොකු පැටී සමග වට්ස්ඇප් මගින් සම්බන්ධ වී ඇති බව අනාවරණ වී ඇති අතර එම ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ලොකු පැටී විසින් ඔහුට රුපියල් 120,000ක මුදලක් ලබාදී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මේ අතර අදාළ පුද්ගලයාගේ ගිණුමට ලොකු පැටී විසින් රුපියල් ලක්ෂ 40ක්ද බැර කර ඇති අතර අදාළ මුදලින් මතුගම ප්‍රදේශයෙන් බස් රථයක් මිලදී ගෙන ඇත්තේ පසුගිය දා අත්අඩංගුවට ගැණුනු 21 හැවිරිදි තරුණියගේ නමට බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඊට අමතරව අත්අඩංගුවට ගත් 26 හැවිරිදි වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයෙකු වන වෑන් රථ රියදුරුට ද ලොකු පැටී විසින් රුපියල් ලක්ෂයක මුදලක් ලබා දී ඇති බව පොලිසිය සඳහන් කළා.

සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය නියෝග කළේ ඔවුන් ලබන මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

ඒ අනුව ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීම සැලසුම් කිරීම සහ අනුබල දීම යන චෝදනාව යටතේ මේ වන විට දස දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *