කුලියාපිටිය තරුණයා ඝාතනය ගැන “සිඟිති” සියල්ල වමාරයි

කුලියාපිටියේ තරුණයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුගේ මස්සිනා එම ඝාතනය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ කර තිබෙනවා.

ඔහු පොලිසිය හමුවේ පාපෝච්චාරණය කර ඇත්තේ අදාළ තරුණයා පනිරෙන්ඩාව රක්ෂිතයට රැගෙන ගොස් පහරදි ඝාතනය කළ බවටයි.

කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි සුසිත ජයවංශ නමැති තරුණයා පසුගිය මස 22වැනිදා කුලියාපිටිය ඉලුක්හේන ප්‍රදේශයේ පිහිටි පෙම්වතියගේ නිවසට ගිය මොහොතේ පටන් අතුරුදන්ව සිටියා.

එම අතුරුදන්වීමෙන් අනතුරුව ඔහුගේ පෙම්වතිය, දෙමාපියන් සහ පෙම්වතියගේ ඥාතීන් පිරිසක් එම ප්‍රදේශයෙන් පළා ගොස් සැඟව සිටි අතර, ඔවුන් සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වු පොලිසිය, සිඟිති නමැත්තෙකුගේ මස්සිනා ද අත්අඩංගුවට ගත්තා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසිය සමත් වුණා.

එම සැකකරු පොලිසිය හමුවේ පවසා තිබුණේ, අදාළ තරුණයා මාදම්පේ පනිරෙන්ඩාව රක්ෂිත ප්‍රදේශයට රැගෙන ගොස් ඝාතනය කළ බවයි.

එමෙන්ම, සිඟිති නමැත්තාගේ දියණිය සමඟ අදාළ තරුණයා ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබු බවත්, ඔහුගෙන් ඇය ගැබ් ගෙන තිබු නමුත් ඇය විවාහ කර ගැනීම ප්‍රතික්ෂේප කළ බවත් එම සැකකරු පවසා තිබුණා.

ඒ හේතුවෙන් තරුණයාට පහර දී ඝාතනය කළ බවත් සිඟිති නමැත්තාගේ මස්සිනා පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

ඔහුගෙන් ලැබුණු තොරතුරුවලට අනුව ඝාතනය කළ සුසිත ජයවංශ නමැති තරුණයාගේ සිරුර මීට පෙර සෝදිසි කිරීම් කළ පනිරෙන්ඩාව කැළෑබද ප්‍රදේශයේම තිබී දින 15කට පසු පොලිසිය සොයා ගත්තේ ඊයේ දිනයේයි.

තරුණයාට පහර දී ඔහුගේ ඇස් බැඳ තිබු රෙදි කඩින් ගෙළ සිර කර ඝාතනය කළ බවද, සැකකරුවන් පොලිසිය හමුවේ පවසා තිබුණා.

කෙසේ වෙතත්, අදාළ තරුණයා කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පෙම්වතියගේ නිවස තුළදී ඝාතනය කර අදාළ කැළෑබද ප්‍රදේශයට ගෙනවිත් දමන්නට ඇති බවට ද පොලිසිය සැක කරනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, දෙදෙනෙකු අධිකරණයට භාර වූ බවද පොලිසිය සඳහන් කළා.

පොලිසිය පැවසුවේ, මෙය ඝාතනයක් බවට ඔප්පු වී ඇති හෙයින්, එහි ප්‍රධාන සැකකරුවන් වන දැනට බන්ධනාගාරගතව සිටින සිඟිති නැමැත්තා සහ ඔහුගේ බිරිඳ යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව ඔවුන් හෙට දිනයේදි යළි අදිකරණයට ඉදිරිපත් කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් නියෝග කළා.

මේ අතර, සිඟිති නැමැත්තා සම්බන්ධකම් පැවැත්වු පළාතේ දේශපාලනඥයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් ද පොලිසිය අවධානය යොමුකර ඇති අතර, මෙම ඝාතනයට සහ ඝාතකයින්ට අනුබල දුන් බවට සැකපිට පළාත භාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශන පවත්වනවා.

සිඟිති නැමැති අදාළ සැකකරු ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු ද වන අතර, ප්‍රදේශයේ නීති විරෝධි මත්පැන් ජාවාරමේද නිරත වු පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළා.

මේ අතර, ඝාතනයට ලක් වූ තරුණයා ප්‍රේම සබඳතාව පවත්වාගෙන ගිය සිඟිති නැමැත්තාගේ දියණිය ඇතුළු දරුවන් තිදෙනො සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *