ඡන්ද වැඩට නොමිලේ ප්‍රවාහන පහසුකම් තහනම්

මැතිවරණ රැස්වීම් සහ ප්‍රචාරක කටයුතු සඳහා විවිධ ප්‍රදේශවලට යෑමට ගුවන් හමුදා හෙලිකොප්ටර් හෝ ගුවන් යානා රජයේ වියදමින් භාවිත කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සියලු අපේක්ෂකයන්ට දැනුම්දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කියා සිටියේ රජයේ ගුවන් යානා මැතිවරණ කටයුතු සඳහා භාවිත කරන්නේ නම් ඒ සඳහා අනිවාර්යයෙන්ම මුදල් ගෙවිය යුතු බවයි.

කෙසේ වෙතත් මැතිවරණ නොවන වෙනත් රාජකාරි කටයුතු සඳහා ගුවන් යානා ලබාගත හැකි පුද්ගලයන්ට එවැනි කටයුතු සඳහා රජයේ ගුවන් යානා යොදාගැනීමට බාධාවක් නැති බවද ඔහු සඳහන් කළා. එමෙන්ම මැතිවරණ කටයුතු සඳහා ලංගම බස් රථ, දුම්රිය යොදාගන්නේ නම් ඒ සඳහා ද අනිවාර්යයෙන්ම මුදල් ගෙවා රිසිට් පත් ලබාගත යුතු බව කොමිසම දැනුම්දී තිබෙනවා.

මැතිවරණ කටයුතු සඳහා රජයේ දේපළ යොදා ගැනීම පිළිබඳව ලැබෙන පැමිණිලි පිළිබඳව වහා ක්‍රියාත්මක වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට දැනුම්දී ඇති බවයි වාර්තාවන්නේ.

මේ අතර මෙවර ජනාධිපතිවරණයේදී රජයේ සේවකයන්ට තැපෑලෙන් ඡන්දය සළකුණු කිරීම සඳහා අවශ්‍ය වන නිල ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත මලු බෙදා හැරීම අද ආරම්භ කෙරෙනවා.

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම පැවත්වීමට නියමිතව ඇත්තේ ලබන මස 4, 5 සහ 6 යන දිනවලයි. මෙම දිනවල තැපැල් ඡන්ද සළකුණු කිරීමට නොහැකිවන රජයේ සේවකයින්ට ලබන මස 11 සහ 12 යන දිනවල ද ඊට අවස්ථාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මෙවර ජනාධිපතිවරණයේ තැපෑලෙන් ඡන්දය සළකුණු කිරීම සඳහා රජයේ සේවකයින් හත් ලක්ෂ 12,321ක් සුදුසුකම් ලබා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *