”ජනපති සහ ඔහුගේ වහලුන් ජනපතිවරණය කල්දාන්න හදනවා”

ජනාධිපතිවරයා සහ රජය නියෝජනය කරන වහලුන්, අතකොළුවන් පසුගිය කාලයේ දී රටට නානප්‍රකාර ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් ජනාධිපතිවරණයක් පැවැත්වීම නුසුදුසුයි කියා මතයක් ගොඩනැගූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

තවද අවස්ථා ගණනාවක දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට සුදුසු අවස්ථාව මෙය නොවන බවට සමාජ ගත කිරීමේ දේශපාලන ව්‍යාපෘතියක් ජනාධිපතිවරයා සහ ඔහුට සමීප කණ්ඩායම් සිදු කිරීමට උත්සාහ කළ බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

එවන් තත්ත්වයක් තුළ අද දවසේ නිත්‍යානුකූලව, ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු ජනාධිපතිවරණය උදුරා ගන්නට සොරා ගැනීමට තවත් වෑයම් ගණනාවක් දියත් වන බව ඔහු පවසනවා.

විපක්ෂ නායකවරයා සඳහන් කළේ මේ සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ කුමන්ත්‍රණ බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 දක්වා යන දිනවල අනිවාර්යෙන්ම පැවැත්විය යුතු වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ ජනතාවට නව ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට ඇති අයිතිය අහෝසි කිරීමට සහ කඩාකප්පල් කිරීමට යම් යම් කණ්ඩායම් කටයුතු කරන බවයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ජනාධිපතිවරණය පැවැත්වීමට බාධා කරමින් රජය සිදු කරන කූඨ ක්‍රියා සම්බන්ධයෙන් විරෝධය පාමින් මඩකලපුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින්.

මේ වන විට මාලිගා ඇතුළේ ක්‍රියාත්මක කුප්‍රකට කුමන්ත්‍රණ හරහා ජනාධිපතිවරණයක් නොපැවැත්වීම සඳහා පසුබිම සකස් කරන මොහොතක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ක්‍රියාත්මක කිරීමට කටයුතු නොකරන ලෙස වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ජනාතාවට හිමිවිය යුතු මැතිවරණ අයිතිය වහා ලබා දෙන්නට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

එසේ ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට නිදහස් නිවහල් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම සඳහා ගත යුතු සියලු ම සුදුසු පියවර ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් බිය නොවී, වහල් නොවී රටේ ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් ගන්නා ලෙස මැතිවරණ කොමිසමෙන් මෙන් ම මෙයට සම්බන්ධ සියලු නිලධාරීන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවයි.

රජගෙවල්වල සිදු කරන කුමන්ත්‍රණ පරාජය කළ යුතු බවත් ඒ සඳහා සියලු බලවේග ඒකරාශී කර ගෙන ජනතාව පෙරටු කර ගත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කිරීමේ ගමනට සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *