වත්මන් රජය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අයි එම් එෆ් ගිවිසුමේ කොන්දේසි වෙනස් කරනවා කියා සඳහන් කර ජන වරමක් ලබා ගත්තත් අද එම ජන වරම පාවා දී ඇති බවත් බදු අඩු කිරීම, වැට් බදු අඩු කිරීම, ජනතාවට සහන ලබා දෙන නව අයි එම් එෆ් ගිවිසුමකට ප්‍රවේශ වෙනවා කියා ජනවරම ලබා ගත්තත් අවසානයේ ජනතාවගේ විශ්වාසය බිඳ දමා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එසේම මේ රජය මැතිවරණ වේදිකාවේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අයි එම් එෆ් ගිවිසුම ක්‍රියාත්මක නොකර එය වෙනස් කරනවා කිව්වත් අද වන විට වත්මන් රජය ක්‍රියාත්මක කරන්නේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ අයි එම් එෆ් ගිවිසුම බවත් මේ ගිවිසුම වෙනස් කරනවා කියා බලය ගත් වත්මන් රජය ඒ කිසිවක් අද නොකරන බවත් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව මාරු වුණාට ක්‍රියාත්මක වන්නේ පරණ ක්‍රමවේද බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න රැසකට පිළිතුරු ලබා දෙමිනි.
එමෙන් ම ජාතික වැදගත්කමින් යුත් කාරණාව වන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන සොයනවා වෙනුවට රජය අයි එම් එෆ් ගිවිසුම සංශෝධනය කරනවා කියා බලය ගෙන එය නොකර සිටීම ගැන සෙවීම බවත් ඒ ගැන මාධ්‍යවේදීන් සෙවිය යුතු බවත් ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ගැන සොයන්න පෙර ජනතාව දුක්වෙන කරුණු ගැන සොයන ලෙසත් බඩු මිල වැඩි වීම ජීවන බර වැඩිවීම සිදුවන බවත් මේ ගැන සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
තවද ඉන්ධන මිල අඩු කරනවා කියා කිව්වත් රජය එවැනි දෙයක් කර නොමැති බවත් ඔවුන්ට මන්ත්‍රී ආසන 159ක් ලබා දුන්නේ මේවා අඩු කරන්න බවත් එහෙත් මේවා අඩු නොකර ජනතාව රවටමින් සිටින බවත් වේදිකාවේ කියන දේවල අද කරන්න රජයට නොහැකි වී ඇති බවත් රටේ ලක්ෂ 220ක් පොදු ජනතාවගේ අයිතිය වෙනුවෙන් සමගි ජන බලවේගය හඩ නගන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.