ජනාධිපතිවරණ දෙවන පෙත්සම අද සළකා බලයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කර නොතිබියදී ජනාධිපතිවරණයක් පැවැත්වීම නීතියට පටහැනි බව සඳහන් කරමින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී සළකා බැලීමට නියමිතයි.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත වී ජනාධිපතිවරයා ඊට අත්සන් තබා නොමැති නිසා එය නීතියක් වශයෙන් සැළකිය නොහැකි බව පෙත්සම්කරු මෙහිදී පෙන්වා දෙනවා.

එවැනි තත්වයක් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය තවදුරටත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදි සහගත බවයි අදාළ පෙත්සමේ දැක්වෙන්නේ.

මෙවැනි වාතාවරණයක් තිබියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කිරීමකින් තොරව ජනාධීපතිවරයාගේ නිල කාලය වසර පහක් ලෙස සළකා ජනාධිපතිවරණයක් පැවැත්වීමට යෑමෙන් මැතිවරණ කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවයි පෙත්සම්කරු තවදුරටත් පෙන්වා දෙන්නේ.

මේ අතර, ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයක් දෙනතුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා මීට දින කිහිපයකට පෙර ව්‍යාපාරික සී.ඩී. ලේනව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන පසුගිය අටවනදා නිෂ්ප්‍රභ කෙරුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *