ජපාන ප්‍රහාරක යානා අපනයනය ගැන චීනය කනස්සල්ලෙන්

ජපානය සිය යුද සහ ආරක්ෂක සබඳතා තර කරගන්නා සෑම අවස්ථාවකදීම චීනය සිය කණස්සල්ල පළ කරනවා.

ජපානය ඉකුත් මාර්තු 26 වනදා ඉතාලිය සහ බ්‍රිතාන්‍ය සමග එක්ව සංවර්ධනය කරන උසස් ප්‍රහාරක ජෙට් යානා ලොව පුරා අපනයනය කිරීමට ඉඩදීම සඳහා ආරක්ෂක තාක්‍ෂණ සීමාවන් ඉවත් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් චීනය පළ කළේ දැඩි කණස්සල්ලක්.

චීනය පවසන්නේ ඒ හා සම්බන්ධ වාර්තා පිළිබඳ දැඩි අවධානය යොමු කර ඇති බවයි.

වැඩි ඈතක නොවන ජපානයේ හමුදා ආක්‍රමණයේ ඉතිහාසය දන්නා කලාපයේ අසල්වැසියන් සහ ජාත්‍යන්තර ප්‍රජාව වත්මන් වාර්තා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලන් ජියන් පැවසුවේ.

අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩාගේ නායකත්වයෙන් යුත් ජපන් රජය එරට ආරක්ෂක උපකරණ සහ තාක්ෂණය මාරු කිරීම පිළිබඳ සංශෝධිත අපනයන නීති අනුමත කරනු ලැබුවා.

සංශෝධිත නීතිවලට අනුව ඉතාලිය සහ බ්‍රිතාන්‍ය සමග එක්ව ජපානය විසින් සංවර්ධනය කරන ප්‍රහාරක ජෙට් යානා අපනයනය කිරීමට ජපානයට අවස්ථාව හිමි වෙනවා.

ඒවා 2035 වන විට තුන්වන පාර්ශවයකට යොමු කිරීමට හැකි පරිදි අපේක්ෂා කෙරෙනවා.

ප්‍රහාරක ජෙට් යානා සංවර්ධනය කිරීමේ කටයුතු දැනට සැලසුම් අදියරේ පමණක් පවතින අතර, රටවල් තුන විසින් ඉදිරි වසර පහක් හෝ ඊට වැඩි කාලයක් තුළ පිරිවිතරයන් සහ කාර්ය සාධනය කෙටුම්පත් කිරීම අරමුණු කර ගනිමින් කටයුතු කරනවා.

එම යුද ගුවන් යානා දැනට යුද්ධය පවතින රටවල් වෙත යොමු නොකරන බවයි ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ.

නමුත් චීනය බියෙන් පසුවනවා.

ඒ පැසිෆික්, අග්නිදිග ආසියාව සහ දකුණු ආසියා කලාපවල සිටින චීනයේ ප්‍රතිවිරුද්ධ මතධාරීන්ට ජපානය මෙම යුද ගුවන් යානා අපනයනය කරනු ඇතැයි චීනය පසුවන්නේ බියෙන්.

විශේෂයෙන්ම, ජපානය විසින් ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය සහ මැලේසියාව සමඟ සිය ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා වසර 10ක සැලසුමක් සකස් කර තිබීම සම්බන්ධයෙන් ද චීනයේ දැඩි අවධානය යොමු ඇතැයි සඳහන්.

චීනය ඒ සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලෙන් පසුවන බවයි වාර්තා වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *