ණය ගෙවීම පැහැර හැර අදට අවුරුදු දෙකයි

ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු වරට ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට අද (12) ට වසර දෙකක් සම්පූර්ණ වනවා.

ඉකුත් සමයේ මෙරට උද්ගත වූ විදේශ විනිමය හිඟය හමුවේ, 2022 වසරේ අප්‍රෙල් 12 වැනි දා විදේශ ණය සේවාකරණය තාවකාලිකව නතර කරන බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක් මගින් ද්විපාර්ශවික සහ වාණිජ ණය හිමියන්ට දැනුම් දුන්නා.

ඒ අනුව ඉන්දියාව, චීනය සහ පැරිස් සමාජය නියෝජනය කරන රටවල්වලින් ලබා ගත් ඩොලර් බිලියන 10 ඉක්ම වූ ණය ප්‍රමාණයක් ද, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මගින් මූල්‍ය වෙළෙඳපොළෙන් ලබා ගත් ණය ද ඇතුලුව ඩොලර් බිලියන 14 ඉක්ම වුණු වානිජ ණය ප්‍රමාණයක් ගෙවීම ද තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව එම ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා එම වසරේ දී සාකච්ඡා ආරම්භ වුණු අතර ඒ සඳහා ජාත්‍යන්තර නීති හා මූල්‍ය ආයතන දෙකක සහාය ලබා ගත්තා.

මේ අතර 2023 වසරේ දී දේශීය ණය ප්‍රශස්තකරණය අවසන් වූ අතර, බහුපාර්ශවීය ණය හැර සෙසු විදේශ ණය 2022 වසරේ අප්‍රෙල් සිට මේ දක්වා ගෙවීමක් කර නැහැ.

කෙසේ නමුත් ඉකුත් දා මුදල් අමාත්‍ය ධුරය ද දරණ ජනාධිපතිවරයාට ඉතා සමීප අයෙකු වන ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක විදෙස් පුවත් සේවයකට පවසා තිබුණේ, ගෙවීම් අත්හිටුවා ඇති විදේශ ණය ආපසු ගෙවීම 2028 වසර දක්වා කල් දමා ගැනීම සඳහා වන ණය හිමියන් සමග කරන සාකච්ඡා අවසන් අදියරට පැමිණ ඇති බවයි.

එහි දී ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, ණය ආපසු ගෙවීමේ කාලය 2028 සිට 2042 දක්වා වසර 15ක කාලයක් පමා කර ගනු ඇති බවත්, ඒ සඳහා 2%ක පමණ නව පොලියක් එකතු වනු ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *