තමාට වඩා රටට, මාතෘභූමියට සහ ලක්ෂ 220ට මුල්තැන ලබා දිය යුතු යි

සමගි ජන බලවේග ගමනේ මන්ත්‍රීවරුන්ට පමණක් නොව පරාජය වූ පුද්ගලයන්ට ද ජනතාවට සේවය කිරීමේ අවස්ථාව ලබා දෙන බවත් තමන්ගේ ගැන සිතනවාට වඩා රට ගැන සිතා කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකාව ලෝකයේ අංක 1 කරා යන ගමනේදී මුල් තැන ලබා දිය යුත්තේ රටට, මාතෘභූමියට සහ ලක්ෂ 220ක් ජනතාවට බැවින් ඒ අරමුණේම ගමන් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමාදස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 147 වැනි අදියර යටතේ අද පුත්තලම නාත්තන්ඩිය නාරවිල ශ්‍රී ගුණරතන මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී විද්‍යාලයට අවශ්‍ය නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

හොඳට මතක තියා ගන්න. කොමිස්කාර පාලනයකට ධානපතියන් සූදානම් නැහැ.

බංකොලොත් රටෙත් ජනතාව ගැන කැක්කුමක් ඇති ධානපතියන් මෙරට මෙන්ම විදේශ රටවල පවා සිටින බවත් ඔවුන් කොමිස් ගැහිලිවලට කැමැති නොවන බවත් කොමිස්කාර පාලනයක් ඇති රටකට මුදල් වියදම් කරන්න ඔවුන් සූදානම් නොමැති බවත් සියලුම ගණුදෙනු විනිවිදභාවයෙන් යුක්තව සිදුවිය යුතු නිසා සමගි ජන බලවේග රජයක් තුළ එම තොරතුරු දැන ගැනීමේ අයිතිය තවතවත් සවිබල ගන්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ රජයක් යටතේ කිසිම දූෂණයකට ඉඩක් නැහැ

වර්තමානයේ ටෙන්ඩර් ක්‍රමවේදය පවා දූෂණයට ලක්වී ඇති මොහොතක කිසිදු දූෂණයකට සමගි ජන බලවේගය ඉඩ නොතබන බවත් බංකොලොත් රටේ දූෂණය නැති කර ආර්ථිකය වර්ධනය කර අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

සටන් පාඨවලට සීමා නොවූ නූතනවාදී අධ්‍යාපන විප්ලවයක්

සමගි ජන බලවේගය අධ්‍යාපනයේ නූතනවාදී අධ්‍යාපන විප්ලවය ක්‍රියාත්මක කරන බවත් එය හුදෙක් සටන් පාඨවලට සීමා නොවන බවත් බංකොලොත් රට තුළ නව ආකාරයට නව ක්‍රමවේද උපයෝගී කර ගෙන සම්පත් සොයා යා යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ව්‍යවසායකයන් මිලියනයක් රටට

සාමාන්‍යයෙන් අධ්‍යාපන සුදුසුකම් ලැබීමෙන් පසු ස්වයං රැකියා ව්‍යාවසාය ගැන සිතුවත් අධ්‍යාපන වැඩපිළිවෙළ තුළින්ම ව්‍යවසායකත්ව දැනුමත් පාසලින් ලබා දිය යුතු බවත් සමගි ජන බලවේගයේ අරමුණ නව ව්‍යවසායකයන් මිලියනයක් බිහි කිරීම බැවින් ඒ සඳහා අවශ්‍ය පුහුණුව, දැනුම, කාරක ප්‍රාග්ධනය සහ දරාගත හැකි මිලකට සම්පත් ලබා දීම සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන බැංකුවක් ආරම්භ කළ යුතු බවත් මේ සියලු අදහස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මුදල් දේපල සොරා ගත හැක. නමුත් අධ්‍යාපනය සොරා ගත නොහැක

සුපුරුදු දේශපාලන ක්‍රමවේදය තුළ රාජ්‍ය සම්පත් උපයෝගී කර ගෙන හිතවතුන්ට මුදල් උපයා ගැනීමට කොන්ත්‍රාත් ලබා දිය හැකි බවත් පසුගිය කාලයේ සිදු වූයේ එවැනි දෙයක් බවත් යූඇන්පී, පොහොට්ටු, නිදහස් පක්ෂ, ජේවීපී ආදී සියලු පක්ෂ සිදු කළේ එවැනි දෙයක් බවත් මේ සඳහා යොදා ගන්නා මුදල් අධ්‍යාපනයට යොමු කළ හොත් එය ඉතා වැදගත් බවත් මුදල් දේපල හොරකම් කළ හැකි නමුත් දැනුම කිසිදා හොරකම් කළ නොහැකි නිසා දැනුමට මුල් තැන ලබා දීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ ඒ නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 147 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1495ක් වැය කර තිබේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *