ත්‍රස්තවාදය, පාස්කු ප්‍රහාරය ඇති වුණේ දේශපාලනඥයන්ගේ දුර්වල නායකත්වය නිසා බව කනගාටුවෙන් වුවත් කිව යුතුයි

ජාතික ජන බලවේගය ලෙස අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නිකුත් කර තිබෙනවා. එහි 223 වැනි පිටුවේ “උසස් ජාතික ආරක්ෂාවක් – සුරක්ෂිත රාජ්‍යයක්” යන පරිච්ඡේදය යටතේ අපේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධ විස්තර එන්.පී.පී. ඩොට් එල්කේ වෙබ් අඩවියට පිවිස ඕනැම කෙනෙකුට බලා ගන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙන ලෙස ඉල්ලීමක් කරනවා. අපේ ත්‍රිවිධ හමුදාවේ දැනට සිටින නිලයන්ට අදාළව රජයෙන් නීත්‍යානුකූලව ලබාදී තිබෙන සියලුම පහසුකම් ඒ ආකාරයෙන්ම ලබා දෙනවා. පොදු ජනතාවට ලැබෙන වෛද්‍ය සහ ප්‍රවාහන පහසුකම් වැඩිදියුණු කිරීමෙනුත් ප්‍රයෝජනයක් ලැබෙනවා. විශ්‍රාමික සාමාජිකයන් සඳහා පවතින නිවාඩු නිකේතන ඇතුළු පහසුකම් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා. ත්‍රිවිධ හමුදාවේ වෘත්තිය පුහුණුවක් ලැබූ අය, විශ්‍රාම ගියාට පසුව යෙදීමට වෘත්තීන් අහිමිවීම නිසා යුක්රේනයේ හෝ රුසියාව වැනි යුද්ධ භූමිවලට ගොස් ජීවිත පවා අනතුරට ලක්ව තිබෙනවා. ගෞරවනීය විශ්‍රාම ජීවිතයක් ගෙවීමට ආදායම් නොමැතිවීම නිසා ඔවුන් එවැනි අවදානමකට මුහුණ දී සිටිනවා.

ත්‍රිවිධ හමුදාව පොලීසිය සමග එක්ව ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවී ඉහළම ආකාරයෙන් යුද්ධය කාලයේ පවා ක්‍රියාකර තිබෙනවා. ත්‍රස්තවාදය, පාස්කු ප්‍රහාරය ඇති වුණේ මේ රට පාලනය කළ දේශපාලනඥයන්ගේ දුර්වල නායකත්වය නිසා බව කනගාටුවෙන් වුවත් කියන්න සිදුවෙනවා. අදටත් පාලකයන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ ආකාරයෙන්ම ක්‍රියාකරනවා. උදාහරණයක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ පරිදි තාමත් වැඩ බලන පොලිස්පතිවරයෙක් පත්කර නැහැ. පටු දේශපාලන සිතුවිලි නිසා පාලකයන් ඒ වගකීම පැහැර හැර තිබෙනවා. පටු දේශපාලන වාසි තකා පාලකයන් ක්‍රියාකරන ආකාරය මැනවින් තේරුම් ගන්නා ලෙසත් ඔවුන් රට ගැන සිතා කටයුතු නොකරන ආකාරයත් තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

අපි ජාතික ජන බලවේගයට එක්වී සිටින්නේ මේ තත්වයන් වෙනස් කරන්නයි. අපි සිවිල් වැසියන් හැටියට නීත්‍යානුකූල ලෙස ජාතික ජන බලවේගයට සම්බන්ධ වී ක්‍රියාකරමින් සිටිනවා. අපි කිසිම ලෙසකින් රට තුළ ප්‍රචණ්ඩත්වයක් ඇති වීමට ක්‍රියා නොකරන බව අවධාරණය කරනවා. ඒ පමණක් නොවෙයි සක්‍රීය සේවයේ යෙදී සිටියෙදී වගේම මේ අවස්ථාවේදීත් ක්‍රියා කරන්නේ සාමකාමී රටක මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනුයි.

ජාතික ජන බලවේගය තුළ අපගේ දේශපාලන භාවිතය ජනතාව තුළ ඇගයීමට ලක්වී තිබෙනවා
අදිටන ත්‍රිවිධ හමුදා සාමූහිකයේ විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න

අපි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයට සම්බන්ධ වී සිටින්නේ කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් නොවෙයි. සිදුවෙමින් පවතින සමාජ අසාධාරණය ඉදිරියේ තවදුරටත් නිහඬව සිටිය නොහැකි නිසා අපි ජාතික ජන බලවේගය සමග එක්වී රට ගොඩනඟන්න ක්‍රියාකරනවා. අනෙකුත් දේශපාලන පක්ෂත් විශ්‍රාමික හමුදා සාමූහිකයන් එක්කරගෙන සංවිධාන ගොඩනඟන්න උත්සාහ කළා. දූෂිත දේශපාලකයන් සහ ඔවුන් සමග ගහට පොත්ත මෙන් බද්ධ වී ක්‍රියා කළ සමහර නිලධාරීන් අපට විරුද්ධව පසුගිය කාලයේ අභූත චෝදනා ඉදිරිපත් කළා. අදිටනට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සියලු දෙනා දේශපාලනයට කිසිදු සම්බන්ධතාවයක් නොමැතිව ගෞරවාන්විතව රාජකාරි කර සක්‍රීය සේවයෙන් විශ්‍රාම ගත් අයයි. 40,000කට වැඩි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් පිරිසක් අප වටා එකතු වී සිටින්නේ මේ තත්වය නිසයි. ජාතික ජන බලවේගය තුළ අපගේ දේශපාලන භාවිතය ජනතාව තුළ ඉතාමත් ඇගයීමට ලක්වී තිබෙනවා. දේශපාලන වේදිකාවල අපට අභූත චෝදනා නඟන දේශපාලකයන් සහ විශ්‍රාමික හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් සානුකම්පිතව කල්පනා කරන අතර, ඔවුන් සක්‍රීය දේශපාලනයේ යෙදී සිටි සමයේ ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සලකා බලන ලෙස සමාජයෙන් ඉල්ලා සිටිනවා. විශේෂ ප්‍රභූ ආරක්ෂක කටයුතුවල යෙදි සිටින ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් කිසිවක් වෙනස් නොවෙන බව අවධාරණය කරනවා. ඒ වගේම මෙතෙක් අප හා එක් නොවූ විශ්‍රාමික හමුදා සාමාජිකයන් හට අප හා එක්වන ලෙසටත් ජනතාවාදී රජයක් බිහි කිරීමට දායක වන ලෙසත් ඉල්ලා සිටිනවා.

සමාජ මාධ්‍ය යොදා ගනිමින් ඡන්දදායකයාගේ මනස විකෘති කරන පණිවිඩ පතුරුවමින් තිබෙනවා
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම

ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව පෙළ ගැසෙන ආකාරය දැකීමෙන් විරුද්ධ පිරිස් කලබල වී ඉතාමත් තිරස්චීන මඩ ප්‍රහාරයන් එල්ල කරමින් සිටිනවා. ඊයේ (01) අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඔහු 22 දා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් මිනිසුන්ගේ දේපළ කොල්ලකෑම, වාහන අත්පත් කර ගැනීම ආදී ක්‍රියා කරනු ඇති බවට විශාල භීතියක් සමාජයේ වපුරන්න උත්සාහ කරනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මන්ත්‍රී ධුරයෙන් පහකළ මනුෂ නානායක්කාර හිටපු ඇමතිවරයා තවත් භීතියක් හදමින් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයත් එක්ක විශාල මිනිස් ඝාතන සිදුවිය හැකි බවට ප්‍රචාරය කරනවා. 1977 මැතිවරණයෙන් පසුව ජනතාවට භීතියක් ඇති කළේ කවුද කියලා අපි දැකලා තිබෙනවා. 1994 සිට අද දක්වාම ඒ ආකාරයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ලංකාවේ සිදුවී නැහැ. චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව අද දක්වාම ඔය කියන ආකාරයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වී නැහැ. ඒ නිසා 22 දා හෝ ඊට පසුව ඔය කියන ආකාරයේ සිදුවීම් පිළිබඳව ජනතාව කිසිසේත්ම බිය විය යුතු නැහැ. ඒ වගේම තැපැල් ඡන්දදායකයාගේ මනස විකෘති කරන ආකාරයේ පණිවිඩ සමාජ මාධ්‍ය යොදා ගනිමින් පතුරුවා හරිමින් සිටිනවා. ජාතික ජන බලවේගය ඉදිරියේ ඇතිවී තිබෙන ජනතා ප්‍රසාදය යම් තරමකින් හෝ අඩු කරන්න මේ මගින් උත්සාහ කරනවා.

අපේ ජනතාවගේ ස්ථාවර තැන්පතු රජයට පවරා ගන්නා බව හඳුන්නෙත්ති සහෝදරයා කීවා කියලා ඊයේ ඉංග්‍රීසි පුවත්පතක පළ කර තිබුණා. මේ රටේ මිනිසුන්ට දේපළ තබා ගැනීමේ අයිතිය නීතියෙන් තහවුරු කර තිබෙනවා. සල්ලි කියන්නෙත් මිනිසුන්ගේ දේපළක්. යම් නීතියක් පනවනවා නම්, ඊට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට පනත් කෙටුම්පත යනවා. ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලීමෙන් පසුවයි ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ. ආණ්ඩුවක් පත්වුණා කියලා හිතෙන හිතෙන ආකාරයට නීති සම්මත කරගන්න බැහැ, බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා. අපේ රටේ ජනතාවට ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් මම ඒ බව සඳහන් කරනවා. දේශපාලනය සම්බන්ධයෙන් සාතිශය බහුතර ජනතාව මේ වන විට ගෙන තිබෙන තීරණය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කර, ඉතිහාසයේ පළමු වතාවට ජනතාවගේ ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක සහෝදරයා පත්කර ගන්නා මෙන් ඉල්ලා සිටිනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *