තමා වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් යාපනය මහාධිකරණයේ විභාග වන නඩුවේ ප්‍රධාන සාක්ෂිය දීම සඳහා වවුනියාව මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලන්චෙලියන් දැඩි ආරක්ෂාවක් යටතේ පෙරේදා (25) යාපනය මහාධිකරණය වෙත පැමිණ සිටියා.
නඩුව ආරම්භ වීමට පෙර සිටම අධිකරණ පරිශ්‍රයට දැඩි හමුදා ආරක්ෂාවක් යොදවා තිබූ අතර විනිසුරුවරයා අධිකරණයට පැමිණෙන විට පොලිස් ආරක්ෂාවට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාවද යොදවා තිබූ බවද වාර්තා වෙනවා.
පසුගිය 2017 වසරේ ජූලි මස 22වනදා එවකට යාපනයේ මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කළ ඉලන්චෙලියන්, අධිකරණ කටයුතු අවසන් කර සිය මෝටර් රථයෙන් පොලිස් ආරක්ෂාව මැද නිල නිවෙස වෙත යමින් සිටියදී විනිසුරුවරයාට වෙඩිතැබීමට තැත්කළ අවස්ථාවේ ප්‍රහාරය වැළැක්වීමට උත්සාහ කළ විනිසුරුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයා වෙඩි ප්‍රහාරයට ලක්ව මියගියා.
විනිසුරුවරයා බේරාගැනීමට උත්සහ කිරීමේදී වෙඩි පහරින් මියගිය සැරයන් හේමචන්ද්‍රගේ පවුලේ සියලු කටයුතු විනිසුරු ඉලන්චෙලියන් විසින් භාරගෙන සිදුකරයි.