දැරියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරියන් දෙදෙනා රිමාන්ඩ්

වෙන්නප්පුව පොලිසිය විසින් රජයේ පාසල් ගුරුවරියන් දෙදෙනෙකු මිනි මැරීමට තැත් කිරීම, හා බරපතල ලෙස පහර දීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

අද 22 දහවල් මේ ගුරුවරියන් දෙදෙනා මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ දැරියකට බරපතල ලෙස පහර දීමේ සිදුවීමක් මුල් කර ගිනිමින්.

වෙන්නප්පුව ප්‍රධාන පෙලේ පාසලක ගුරුවරියන් දෙදෙනෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ දැරිය වන රවිෂා දිනිති 15 හැවිරිදි වියේ පසුවන අතර දැරිය මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වෛද්‍යවරු පැවසුවේ ඇය මේ වන විට දින 13ක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඇගේ තත්වය බරපතල වන බවයි.

මේ දැරියගේ මව ප්‍රකාශ කලේ මේ ගුරුවරියක්, අතින් බරපතල ලෙස සිය දරුවාට පහර දී ඇති අතර පසුව තවත් ගුරුවරියක් කොස්සකින් පහර දී ගිනි අව්වේ දන ගස්වා ඇති බවයි.

ඉන් අනතුරව මේ දැරිය ක්ලාන්තවී ඇති අතර එහිදී දැරිය උස්සගෙන විත් මේසයක් මත අත හැර ඇති බවද, මෙහිදී දැරියගේ ඔලුව මේසයක හැපී ඇති බවද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

මේ සිදුවීම සම්බන්ධයෙන් විධිමත් මුලික පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව වෙන්නප්පුව මුලස්ථාන පොලිස් පරීක්ෂක තිළිණ හෙට්ටිආරච්චි විසින් මේ ගුරුවරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *