දුන්හිඳ ඔඩිසි

බ්‍රිතාන්‍යයන් විසින් මෙරට දුම්රිය සේවය අරඹා වසර සියයක් පිරීම නිමිත්තෙන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කළ ‘දුන්හිඳ ඔඩිසි’ නව සංචාරක දුම්රිය ආගමික වතාවත් මධ්‍යයේ ඊයේ 5 කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ගමන් ආරම්භ කළේය.

1924 අප්‍රේල් 5 වන දින බ්‍රිතාන්‍යයන් බදුල්ල දක්වා දුම්රියක් ධාවනය කර හෙට දිනට වසර සියයක් පිරීම නිමිත්තෙන් මෙම දුන්හිඳ ඔඩිසි අති විශේෂ දුම්රිය ධාවනය කෙරන බවත් මෙම දුම්රිය අල්ල ඔඩිසි, සීතාවක ඔඩිසි දුම්රියන් මෙන් සංචාරක ආකර්ෂණය දිනා ගනු ඇති බවත් මෙම අවස්ථාවට එක් වූ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

‘දුන්හිඳ ඔඩිසි’ නව සංචාරක දුම්රිය සෑම අගහරුවාදා, සිකුරාදා සහ ඉරිදා දිනවල පෙරවරු 6.30 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත් වන අතර සෙනසුරාදා , සදුදා සහ බදාදා දිනවල පෙරවරුවේ 8ට බදුල්ලෙන් පිටත් වේ.

දුම්රිය මැදිරිවල වහල රහිතව ලී වලින් සැකසූ නැරඹුම් මැදිරි ඇතුළු මැදිරි තුනකින් සමන්විත සුඛෝපභෝගි සංචාරක කෙටිදුර දුම්රියක් ‘ගැලැක් සෝ’ නමින් බණ්ඩාරවෙල සිට දෙමෝදර දක්වා දිනපතා ධාවනය කිරීමටද පියවර ගෙන තිබෙන බව මෙහිදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළේය.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කෙරෙන මෙම දුම්රියේ ගමන් ගන්නා දේශීය හා විදේශීය සංචාරකයින්ට, නැරඹීම හා ඡායාරූප ගැනීම සඳහා දර්ශනීය ස්ථාන 10ක සුළු වේලාවක් නතර කෙරනු ලැබීම මෙහි විශේෂත්වයක් වේ.
මෙම දුම්රියේ 1 වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් සඳහා රුපියල් 8000ක් ද, දෙවන පන්තිය සඳහා රුපියල් 6,000ක් ද තුන්වන පන්තිය සඳහා රුපියල් 5,000ක් අය කෙරෙන අතර පිටත්වීම හා පැමිණීම සඳහා අවස්ථා දෙකට ම අදාළ ප්‍රවේශ පත්‍රයක් සඳහා රුපියල් 12,000ක මුදලක් අය කෙරේ.
ගමන් වාර දෙකටම ප්‍රවේශ පත්‍ර ගන්නේ නම් දෙවන පන්තියේ ගමන් වාර දෙකකටම රුපියල් 9000යි,
තෙවන පන්තියේ ගමන් වාර දෙකට
හයදහසක් අය කෙරෙන බවත්
බදුල්ල සිට නැවත කොටුව දක්වා පැමිණීමට ප්‍රවේශ පත්‍රය සදහා ගාස්තුවෙන් සියයට පනහක් අය කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

ඉන්ටර්නෙට් ඔස්සේ මෙහි ආසන වෙන්කර ගැනීමේ පහසුකම් පවතින අතර මෙයට අමතරව බණ්ඩාරවෙල, දෙමෝදර අතර නැරඹුම් මැදිරි සහිත”ගැලැක්සෝ” නමින් නව දුම්රියක් ධාවනය කෙරෙන අතර එහි ගමන්වාර දෙකට රුපියල් 6,000ක මුදලක් අය කෙරේ.

මෙම දුම්රිය නැරඹුම් මැදිරි දෙකකින්, ලී වලින් තනන ලද නැරඹුම් මැදිරියකින් හා බෝජනාගාරයකින් සමන්විත වේ.
එමෙන්ම සියවස් සමරුව නිමිත්තෙන් බදුල්ල දුම්රිය ස්ථානයේදී ඊයේ 5 පස්වරුවේ සමරු මුද්දරයක් ද නිකුත් කෙරුණු අතර ගුවන් සේවා නාවික හා සංචාරක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රියේ බදුල්ල නගරයේදී සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්විණි.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ආරම්භ කරන සංචාරකයින් ඉලක්ක කරගත් තෙවන සුඛෝපභෝගී ඔඩිසි දුම්රිය වන දුන්හිඳ ඔඩිසි දුම්රිය ජනගත කිරීමේ අවස්ථාවට
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් රංජිත් ගංගානත් රූබසිංහ මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ
ඩබ්.බණ්ඩාර මහතා, ඇතුළු ප්‍රවාහන හා මාර්ග අමාත්‍යංශයේ, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, දෙස් විදෙස් සංචාරකයන්, මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *