දුප්පත් කම ඉවත් කිරිමට සජිත්ගේ සැලැස්ම

වර්තමාන රජයේත් රට බංකොලොත් කළ නායකයන්ගේත් අමනෝඥ තකතීරු ප්‍රතිපත්ති නිසා අප රටේ දශලක්ෂ ගණනින් දුප්පතුන් බවට පත්ව ඇති බවත් මේ රටේ දශලක්ෂ ගණනක් ජනතාව දුප්පත්කමින් තැලී පොඩිවී මිරිකී අසීමිත අසහනයට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් ජීවත් වීමේ මාර්ගයක් නොමැති, පැහැදිලි ජීවනෝපායක් ආදායම් මාර්ගයක් නොමැති එදිනෙදා වේල් තුනවත් සපුරා ගත නොහැකි දුප්පත් ජනතාව වෙනුවෙන් ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම හා ගැමිදිරිය වැඩසටහන්වල හොඳ ගුණාංග එකතු කර අඩුපාඩු තුරන් කර නව දුගී දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ආහාර හා ආහාර නොවන අවශ්‍යතා සඳහා, පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය සහ අපනයනය යන කරුණු කේන්ද්‍ර කර නව දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් හරහා මසකට රු.20000ක ප්‍රතිපාදනයක් ලබා දෙමින් මාස 24කින් දුප්පත්කමින් මුදවන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ 16 වැනි විජයග්‍රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් (26) කන්තලේ සේරුවිල නගරයේ දී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.

සදාකාලිකව කවුරුත් දුප්පතුන් නොවිය යුතු බවත් දුප්පත්කම කියන වහල් භාවයට යට නොවිය යුතු බවත් විවිධ ඛේදවාචකයන් නිසා අමනෝඥ සටකපට අකාර්යක්ෂම රාජ්‍ය ප්‍රතිපත්ති නිසා දුප්පත් වුවත් සදාකාලිකව දුප්පත්කමේ සිට පිං පඩි ගන්නා සමාජයක් බිහි නොවිය යුතු බවත් අභිමානවත් ජනතාවක් සිටින අප රටේ ජනතාව කාගේවත් වහලෙක් සේවකයෙක් නොවී අත නොපා ස්වශක්තියෙන් ස්වෝත්සාහයෙන් නැගී සිටීමට කැමැති ජනතාවක් සිටින නිසා කාලවකවානුවක් අනුව දුප්පත්කම තුරන් කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

කාන්තාව මුලික කර ගත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක්

මේ රු. 20000 සහනය දෙන විට මාස 24ක් පුරා ලැබෙන මේ ආධාර උපයෝගී කර ගෙන දුප්පත්කමින් මිදෙන්න කටයුතු කළ යුතු බවත් ඒ ප්‍රතිලාභ ලබා දෙන්නේ ගෘහයේ සිටින කාන්තාව මූලික කර ගෙන බවත් ගෘහයේ සියලු ක්‍රියාදාම විධිමත්ව හා ශක්තිමත්ව හා විනයවත්ව ක්‍රියාත්මක කරන්නේ ගෘහයේ කාන්තාව නිසා ඇය මූලික කර ගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

දුප්පත්කම යනු බරක් නොවේ

රටට බරක් ලෙස සලකන දුප්පත් ජනතාව නිෂ්පාදන ගමනේ බාරකරුවන් බවට පාර්ශ්වකරුවන් බවට පත් කරන බවත් දුප්පත්කම යනු බරක් නොව රට ගොඩනගන පසුබිම සකස් කරන්නක් නිසා මේ සහනය ලබා දෙන බවත් බොරුවෙන් තොර මේ වැඩසටහන මහපොළොවේ යථාර්ථයක් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

රජයේ සහනාධාර මෙන්ම ජනතාවගේ කැපවීමත් අවශ්‍යයි

බංග්ලාදේශයේ ග්‍රාමීන් බැංකු සංකල්පය තුළින් මෙන්ම ලෝකයේ බොහෝ රටවල් කෙටි කාලයක් තුළ දුප්පත්කමින් මිදී ඇති බවට උදාහරණ ඇති බවත් මේ සඳහා රජයේ සහනාධාරය මෙන්ම අදාළ පුද්ගලයන්ගේ කැපවීමත් අවශ්‍ය බවත් රට වැටී ඇති අවස්ථාවක එවැනි සහනාධාරයක් ලබා දෙන්නේ අමාරුවෙන් නිසා එහි නිවැරදි ප්‍රයෝජන ගැනීම ජනතාවගේ වගකීම බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

පොහොර මිටියක් රුපියල් 5000ට

සමගි ජන බලවේග ආණ්ඩුව හරහා ගුණාත්මකභාවයෙන් ඉහළ කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000කට ලබා දෙන බවත් දරාගත හැකි මුදලකට තෙල් පොහොර ලබා දෙමින් කලු කඩ මාෆියාව නතර කර එම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලබා දෙන බවත් ඊට අමතරව ගොවියාට ධීවරයාට ත්‍රීරෝදරථ භාවිත කරන්නන්ට පාසල් ප්‍රවාහන සේවයේ නිරතව සිටින අයට ශක්ති වී මෝල් හිමියන්ට ඉන්දන සහනාධාරයක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගොවි ණය කපා හරිනවා

පාස්කු ප්‍රහාරයේ ප්‍රතිඵල නිසා කොරෝනා කෝවිඩ් නිසා රට බංකොලොත් වීම නිසා ගොවියා හැම අතකින්ම විපතට පත් වූ බවත් බාල පොහොර ලබා දීම පොහොර අහිමි කිරීම කාබනික පොහොර වංචා කිරීම නැනෝ පොහොර වංචා කිරීම ආදිය සිදු වූ බවත් එම නිසා කනකර දේපල උගස් කර ගොවිතැන් කළ ජනතාවට විශාල බලපෑමක් සිදු වු බවත් අද මහා ණය බරකින් ගොවිජනතාව පෙළෙන නිසා මේ වගා ණය කප්පාදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයට හිතවත් ඇමතිවරුන්ගේ ගජමිතුරුන් ඇප රහිතව ණය ගෙන ඒවා නොගෙවීම නිසා එම ණය කපා හැර ඇති බවත් ධනවත් ව්‍යාපාරිකයන්ගේ පවා ණය කපාහැර ඇති බවත් මේ ධනවතුන්ට ආණ්ඩුව සවන් දුන්නාට ගොවි ජනතාවට සවන් නොදුන් බවත් එම නිසා අනීතික ලෙස විවිධ ගජමිතුරු සම්බන්ධතා නිසා කපා හැරි ණය සියල්ල නැවත ලබා ගන්නා බවත් ඊට පසු ගොවි ජනතාවගේ ණය කපා හරින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගොවියාගේ නිෂ්පාදන සදහා සහතික මිලක්

එසේම ගොවියාගේ නිෂ්පාදන සදහා සහතික මිලක් ලබා දෙන බවත් මහා පරිමාණ මෝල් කරුවන් කූඨ ක්‍රමෝපායන් තුළින් විවිධ ගිවිසුම් ගසා ගොවියාගේ වී ටික කුණු කොල්ලයට ගෙන ගොවියා මත පීඩනය අසහනය නිර්මාණය කරන බවත් එම නිසා මේ වී සඳහා ස්ථාවර සහතික මිලක් ලබා දී ගොවියාට ලාභයක් අත් කර දී පාරිභෝගිකයාටත් දරාගත හැකි මිලකට සහල් ලබා ගත හැකි මුල සූත්‍රයක් නිර්මාණය කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *