දුම්රිය ගමන් වාර 86 ක් අවලංගුයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර 80 කට වැඩි සංඛ්‍යාවක් අද අවලංගු වුණා.

ඒ හේතුවෙන් මගී ජනතාව පත්වුණේ දැඩි අපහසුතාවකටයි.

උසස්වීම් ලබා නොදීම සහ බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කළා.

දුම්රිය ධාවනාගාර 5 න් ධාවනාගාර දෙකක රියැදුරන් මෙම වර්ජනයට එක්ව සිටිනවා.

ගැටළුවලට විසඳුම් නොලැබෙන්නේ නම් වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි එහි ලේකම් එස්. ආර්. සී. එම්. සේනානායක කියා සිටියේ.

මේ අතර මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අද පස්වරුවේ දුම්රිය ගමන් වාර 43 ක් අවලංගු කෙරුණු අතර, ඊට කාර්යාල දුම්රිය 26 ක්ද ඇතුළත්.

පෙරවරුවේද දුම්රිය ගමන් වාර 43 ක් ක්‍රියාත්මක වුණේ නැති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉඳිපොලගේ කියා සිටියා.

නමුත් දුරගමන් සේවා සහ රාත්‍රි තැපැල් දුම්රිය නියමිත පරිදි ධාවනය වන බව ඔහු පැවසුවා.

කෙසේ වෙතත් මෙම දුම්රිය වර්ජනය හේතුවෙන් අද රාජකාරි සඳහා පැමිණි පිරිස් මෙන්ම පාසල් සිසුන්ද දැඩි අපහසුතාවකට පත්වුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *