පාටලී මෙවර ඉල්ලන්නේ නෑ

සමගි ජන බලවේගය සමග ඇති කර ගත් අවබෝධතා ගිවිසුම සජබය විසින් ඒකපාර්ශ්වික ව කඩ කරලා. එක්සත් ජනරජ පෙරමුණේ සාමාජිකයින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්නේ නෑ.

සමගි ජන බලවේගය සහ එක්සත් ජනරජ පෙරමුණ අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම, සමගි ජන බලවේගය විසින් ඒකපාර්ශවික ලෙස කඩ කොට ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. තම පක්ෂයේ සාමාජිකයින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන සන්ධානයෙන් හෝ වෙනත් පක්ෂයක් සමග සන්ධානගත ව හෝ තනි ව තරග නො කරන බව ද, හෙතෙම ප්‍රකාශ කළේ ය.

අද (10) එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළේ ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“අපි මේ එළඹෙන මහා මැතිවරණය සඳහා සමඟි ජන සන්ධානයෙන් දිස්ත්‍රික් ගණනාවකට තරග කිරීමේ අපේක්ෂාවෙන් කටයුතු කළා. ඒ සඳහා අපි පදනම් කර ගත්තේ පසු පසුගිය අගෝස්තු මාසේ දාහතර වෙනිදා සමගි ජන බලවේගයත්, අපගේ එක්සත් පෙරමුණත් අතර ඇති කර ගත්ත අවබෝධතා ගිවිසුම. ඒ ගිවිසුමට ප්‍රකාර ව අපි දිස්ත්‍රික් එකොළහක අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමේ අපේක්ෂාවෙන් කටයුතු කළා. නමුත් පසුගිය දින කිහිපය තුළ නාම යෝජනා ක්‍රියාවලිය දිහා බැලුවාම අපිට වැටහී ගියා එම අවබෝධතා ගිවිසුම ඉතා බරපතළ විදිහට අපට දර අපට කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බැරි විදිහට උල්ලංඝනය වෙලා තිබෙන බව. ඉතින් ඒ නිසා අපි කල්පනා කළා මේ මැතිවරණ ව්‍යාපාරයෙන් අපි ඉවත් වෙනවා. ඒකෙන් අපි කිසිම ආකාරයකට සමගි ජන බලවේගයට සතුරුකම් කරන්න හෝ එහෙම නැත්නම් වෙනත් පාර්ශවයන් එක්ක එකතු වෙලා මැතිවරණය කිරීම හෝ අදහස් කරන්නේ නැහැ. අපි ඉදිරි කාලයේ දී අපේ පක්ෂයේ අනෙකුත් සාමාජිකයන්, අනෙකුත් සංවිධාන සමඟ එකතු වෙලා මේ පිළිබඳ සාකච්ඡා කරලා ඉදිරි කටයුතු තීරණය කරනවා. දැනට අපි මේ මැතිවරණ ක්‍රියාවලියෙන්, මැතිවරණයට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමෙන් අපි වැළකී සිටිනවා. ඒ බව අපි සමගි ජන බලවේගයේ නායකයින් වෙත මේ වන විටත් ලිඛිත ව දැනුම් දීලා තියෙන්නේ. මේ මැතිවරණයෙන් අනාගතයේ මේ රටේ ඉරණම යම් ප්‍රමාණයකට තීරණය වෙනවා ජනාධිපතිවරණය පවත්වන මැතිවරණයෙන්. අපේ විශ්වාසය නම් විධායකය තනි පුද්ගලයෙකුට යට නො වී විධායකය කිසියම් දුරකට ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයේ බලගතු පාර්ලිමේන්තුවක් රටට අවශ්‍යයි කියන පණිවිඩය. ඒ නිසා අපේ රටේ ජනතාව ඒ ගැන උනන්දු වෙලා ඡන්දය පාවිච්චි කල යුතුයි. ඒ වගේ ම තමන්ගේ මනාපය විධිමත් විදියට පාවිච්චි කරලා සුදුසු පුද්ගලයෙක්, ජනතාව කලකිරුණු පුද්ගලයෙක් නෙමෙයි. සුදුසු අත්දැකීම් තියෙන, ඒ වගේ ම දූෂණයට යටත් නො වූ පුද්ගලයින් පාර්ලිමේන්තු යැවිය යුතුයි කියන පණිවිඩය අපි ලබා දෙනවා. අපේ පාක්ෂිකයන් එක්ක සාකච්ඡා කරලා පක්ෂයේ අනු සංවිධාන එක්ක සාකච්ඡා කරලා, අපි ඉදිරි මඟ ඉදිරි කාලයේ දී හෙළි කරනවා.”

ප්‍රශ්නය:
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ ඔබගේ නම තිබුණා ද?
පිළිතුර:
නෑ. ජාතික ලැයිස්තුවේ තාම පිළියෙල කරලා නෑ.

ප්‍රශ්නය:
ඒකට එකඟතාවක් තිබුණා ද?
පිළිතුර:
එකඟතාවක් නෙමෙයි. අපේ පක්ෂයට එකඟතාවක් තිබුණා. ජාතික ලැයිස්තුවෙනුත් ධුරයක් පිරිනමන්නත්, තවත් දිස්ත්‍රික්කවල ධුර පිරිනමන්න. ජාතික ලැයිස්තුවේ ප්‍රශ්නයක් පැන නැගිලා නැහැ. මේ දැනට ඇතිවෙලා තියෙන ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ දිස්ත්‍රික්කවල අපේක්ෂකයන් සම්බන්ධයෙන් ඒ ඇති වෙච්ච අපගේ අවබෝධතා ගිවිසුම උල්ලංඝනය වීම.
අපි හිතනවා පක්ෂයක් හැටියට ඒක අපට දරා ගත හැකි සීමාවක නෑ කියලා. ඉතින් ඒ නිසා අපි ඒ මැතිවරණ ක්‍රියාවලියෙන් ඈත් ව සිටීමට තීරණය කළා.

ප්‍රශ්නය:
ඔබගේ පක්ෂය මහා මැතිවරණය සඳහා කොහොමවත් ඉදිරිපත් වෙන්නෙ නැද්ද?
පිළිතුර:
අපි බොහොම පැහැදිලිව කියන්න ඕන, අපි මේ සමගි ජන බලවේගයට රැහැනි ව යන්න හෝ වෙනත් පක්ෂයක් එක්ක හෝ අපේ පක්ෂයෙන් තනියෙන් ඡන්දය ඉල්ලීමේ අදහසක් මේ මැතිවරණයට නැහැ. ජනතාවගෙන් අපි ඉල්ලන්නේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය සහතික කිරීම සඳහා ඡන්දය පාවිච්චි කරන්න. අපේ පක්ෂයේ සාමාජිකයන්, මධ්‍යම කාරක සභාව, අනෙක් සංවිධාන එක්ක අපි ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡා කරලා අපගේ ඡන්ද ව්‍යාපාරය තුළ අපි හැසිරිය යුතු ආකාරය ප්‍රකාශයට පත් කරනවා.

මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජාතික පෙරමුණේ මහ ලේකම් බන්දුල චන්ද්‍රසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපති ප්‍රියදර්ශනී ආරියරත්න, උප සභාපති තීක්ෂණ ගම්මන්පිල යන මහත්ම මහත්මීන් ද එක් ව සිටිය හ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *