පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවබෝධතා ගිවිසුමක්

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් පෝෂණය කිරීම සහ ව්‍යවස්ථාදායක ආයතන අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා වැදගත් පියවරක් ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු සේවා සඳහා වන පකිස්ථානු ආයතනය (Pakistan Institute for Parliamentary Services – PIPS) අතර අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීම පසුගියදා (19) පාර්ලිමේන්තුවේ දී සිදුවිය.
ඒ අනුව, පාර්ලිමේන්තු සේවා සඳහා වන පාකිස්ථාන ආයතනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් ෆාහිමුල් අසීස් මහතා අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය අත්සන් තැබීය.
මෙම අවස්ථාවට පාකිස්ථානයේ නියෝජ්‍ය මහ කොමසාරිස් වජිඩ් හසන් හෂ්මි මහතා සහ පාර්ලිමේන්තුවේ ප්‍රධාන සන්ධාන නිලධාරී අමා විතානගේ මහත්මිය ද එක්වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර දැනුම බෙදාගැනීමේ ක්‍රියාකාරකම් තුළින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ප්‍රවර්ධනය කිරීම සහ ව්‍යවස්ථාදායක භාවිතයන් ශක්තිමත් කිරීම මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණයි.
මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිළිබඳ ව තමා සතුටට පත් වන බවත්, ගිවිසුම අත්සන් කිරීමෙන් පසු එය සජීවී සහ ක්‍රියාකාරී හවුල්කාරිත්වයක් බවට පත් කිරීම ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා මෙහි දී සඳහන් කළේය.
මේ අතර, මේ තුළින් දෙරටේ ව්‍යවස්ථාදායක ආයතන අතර පවතින සමීප සහයෝගිතාව වර්ධනය වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.
මෙහි දී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා පුහුණු අවස්ථා ලබාදීමේ දී මෙම අවබෝධතා ගිවිසුම ප්‍රයෝජනවත් වනු ඇති බවත් හොඳම භාවිතයන් ඉගෙන ගැනීමටත් වටිනා විශේෂඥ දැනුම ලබා ගැනීම තුළින් ව්‍යවස්ථාදායක ක්‍රියාවලියට සහය දැක්වීමට ඔවුන්ට හැකි වනු ඇති බවත් පැවසුවාය.
මෙයට අමතරව මෙම සාකච්ජාවේ දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, මැතිවරණ ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්යභාරය හා එහි ක්‍රියාවලිය පිළිබඳව ද අවධානය යොමු විය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *