පියල් නිශාන්ත ඉවත් වේ

ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත තමන් යටතේ තිබූ රාජ්‍ය ආයතන හතරේම වගකීම් වලින් ඊයේ (26 වැනිදා) ඉවත් වී තිබේ. මේ බව රාජ්‍ය ඇමැතිවරයා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දට දැනුම් දී ඇත.

රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත යටතේ ලංකා ධීවර සංස්ථාව, නාරා ආයතනය, සීනෝර් ආයතනය, නෝර්ත් සී ආයතනය පාලනය විණි.

ලංකා ධීවර සංස්ථාවේ සභාපති තුෂාර ලොකුකුමාර සම්බන්ධයෙන් එම සංස්ථාවේ පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවීම රාජ්‍ය ඇමැතිවරයා වගකීම්වලින් ඉවත් වීමට තුඩුදුන් ආසන්නම හේතුව වී ඇතැයි එම සංස්ථාවේ ආරංචි මාර්ග පවසයි.

ව්‍යාජ උප්පැන්න සහතික තුනක් ඉදිරිපත් කිරීම, දුර්වල පරිපාලනය මත ධීවර සංස්ථාවේ සභාපති තුෂාර ලොකුකුමාර ධීවර අමාත්‍යංශයට මාරු කරගෙන තිබුණු අතර ඔහු සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශයේ ලේකම් නිශාන්ත වික්‍රමසිංහ විසින් පරීක්ෂණයක්ද ආරම්භ කර තිබිණි.

මේ අනුව ධීවර සංස්ථාවේ සභාපති ධුරයේ වැඩ බැලීම කළමනාකාර අධ්‍යක්ෂවරයා වෙත පවරන ලෙසට ධීවර අමාත්‍යාංශයේ බලධාරීන් දැනුම් දී ඇතත් සභාපතිවරයා එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයාට සහ සාමාන්‍යාධිකාරීවරයාට බලපෑම් කර ඇතැයි ද ධීවර සංස්ථාවේ නිලධාරියෙකු පැවසීය

මීට ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්තද විරෝධය පළකර ඇතත් ධීවර සංස්ථාවේ සභාපතිවරයා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීම මත රාජ්‍ය ඇමැතිවරයා සිය වගකීම්වලින් ඉවත් වීමට තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්තගෙන් කළ විමසීමකදී කියා සිටියේ තමන් රාජ්‍ය ඇමැති ධුරයේ තවදුරටත් කටයුතු කරන බවය. තමන් ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා හා එක්ව ධීවර ජනතාව වෙනුවෙන් අඛණ්ඩව සේවය කරන බවත් තමන්ට ඇති පුද්ගලික හා රාජකාරීමය හේතුන් කිහිපයක් මත මෙම තීරණය ගත් බවත් ඔහු කියා සිටියේය.

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා හොඳ ඇමැතිවරයකු බවත් ඔහු සමගින් තමාට කිසිදු අමනාපයක් නැති බවත් කී රාජය ඇමැති පියල් නිශාන්ත තමන් ඉදිරියේදී වගකීම්වලින් ඉවත් වීමේ හේතු පවසන බවද කියා සිටියේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *