බෝඩිමේ සරසවි සිසුවාගේ පහරින් භෞත චිකිත්සකවරයා මරුට

බෝඩිං කාමරයකදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසුව ඇලුමිනියම් ජෝග්ගුවකින් හිසට පහර දීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ භෞත චිකිත්සකවරයෙකු බවත් පහරදීම සිදුකර ඇත්තේ පුද්ගලික සරසවියක ජාල ඉංජිනේරු පාඨමාලාවක් හදාරන (නෙට්වර්ක් ඉන්ජිනියර්) 19 හැවිරිදි සිසුවෙකු බවයි පොලිසිය පවසන්නේ.

පහරකෑමෙන් එම පුද්ගලයා ඊයේ (25) රාත්‍රියේ මියගොස් තිබෙන බවයි වාර්තා වුණේ.

මේ අතර ඔහු (44) හැවිරිදි අයෙකු බවත් සන්තාර් නැමැති ඔහු සම්බන්ධයෙන් වෙනත් විස්තර අනාවරණය වී නැති බවයි මරදාන පොලිසිය පවසන්නේ.

පහරදීම සම්බන්ධයෙන් වැලිමඩ ප්‍රදේශයේ පදිංචි සැකකාර සිසුවා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ මියගිය පුද්ගලයා සහ සැකකරු මරදාන දේවානම් පියතිස්ස මාවතේ තෙමහල් ගොඩනැගිල්ලක පිහිටි නවාතැන්පොළක සිටි බවයි.

එම ගොඩනැගිල්ලේ පහත මහලේ තවත් පුද්ගලයන් දෙදෙනකු සමග මොවුන් දෙදෙනා නවාතැන් ගෙන සිට ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සිසුවා ඊයේ (25) රාත්‍රී විදුලි බල්බයක් දල්වාගෙන පාඩම් කටයුතුවල නිරතව සිට තිබෙනවා.

එහිදී බල්බය නිවා දමන ලෙස මියගිය පුද්ගලයා සිසුවාට පවසා ඇති බව පැවසෙනවා.

මේ කතාව සම්බන්ධයෙන් දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුවී ඇති බව පොලිසිය පවසනවා.

අනතුරුවයි ගුටි බැට හුවමාරුවක් දක්වා කතාව දුරදිග ගොස් ඇත්තේ.

එහිදී සැකකාර සිසුවා ඇලුමිනියම් ජෝගුවකින් මියගිය පුද්ගලයාගේ හිසට පහර දීමෙන් පසුව භෞත චිකිත්සකවරයා බරපතල තුවාල ලබා තිබෙනවා.

කාමරයේ රැඳී සිටින සෙසු පුද්ගලයන් දෙදෙනා විසින් තුවාලකරු රෝහල් ගතකර ඇතත් එහිදී ඔහු මිය ගොස් තිබෙන බවයි මරදාන පොලිසිය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් මරදාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉෂාන්ත ඇපලකොටුවගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *