මත්ද්‍රව්‍ය නඩුවකින් බේරුණු තුන්දෙනෙක් යළි අල්ලන්න වරෙන්තු

2019 වසරේ උතුරු මුහුදේදී හෙරොයින් කිලෝ 196කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නඩුවකින් නිදහස් කෙරුණු විත්තිකරුවන් තුන්දෙනෙකු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) නියෝග කළා.

මෙම සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ගත් තීරණය බලරහිත කොට එම විත්තිකරුවන් වරදකරුවන් කොට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් කැඳවූ අවස්ථාවේදීයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

මෙම අභියාචනා පෙත්සම් ඊයේ එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කොට නිදොස් කොට නිදහස් කෙරුණු තවරාසා සුදාකරන්, අලගේසුපිල්ලේ තවරාසා සහ කන්දයියා චන්ද්‍රකුමාර යන විත්තිකරුවන් තුන්දෙනා අධිකරණය මගහැර විදේශවලට පලා ගොස් තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බව පෙන්වා දුන්නා.

ඒ අනුව, මොවුන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කරන ලෙසයි ඇය ඉල්ලා සිටියේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *