ගිරිඋල්ල, මැද්දෙපොළ, හේන්යාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක පාසල් සිසුවියක ආපනශාලාවකින් ගෙනා කුකුළු මස් සහිත බිරියානි ආහාරයට ගැනීමෙන් අනතුරුව රෝගාතුර වී දඹදෙණිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙම සිසුවියගේ සහෝදරයා ගිරිඋල්ල නගරයේ පිහිටි ආපන ශාලාවකින් පසුගිය 23 වැනිදා රාත්‍රී ආහාරයට ගැනීම සඳහා කුකුළු මස් සහිත බිරියානි ගෙනවිත් ඇති අතර, එම බිරියානි ආහාරයට ගත් ඇයගේ සිරුර කැසීමට ලක්ව පලු දමා තිබෙන බව හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.
පසුව ඇයව දඹදෙණිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මෙසේ මියගොස් තිබෙන්නේ.
මියගිය සිසුවියගේ මව, සහෝදරයා සහ බිරියානි ආහාරයට අනෙක් අයට කිසිඳු රෝගී තත්ත්වයක් ඇති වී නොමැති බවටයි අනාවරණය වී තිබෙන්නේ.
මියගිය සිසුවියගේ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේදී පවත්වා ඇති අතර, එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන්ට යැවීම සඳහා ඇගේ සිරුරේ කොටස් ලබාගෙන තිබෙනවා.