මහ මැතිවරණය සමානුපාතික ක්‍රමයට

මෙවර මහමැතිවරණය පැවැත්වෙන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක තීරණය කළ අතර ඒ අනුව මෙරට 9 වැනි පාර්ලිමේන්තුවේ නිල කාලය ඊයේ අවසන් වුණා.

ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වෙන බවයි.

ඊට අදාළ නාමයෝජනා භාර ගැනීම ලබන ඔක්තෝබර් මස 4 වැනිදා ආරම්භ කරන අතර ඔක්තෝබර් මස 11 වැනිදා මධ්‍යහ්න 12න් නාමයෝජනා භාර ගැනීමේ කාල සීමාව අවසන් වනවා.

පාර්ලිමේන්තු මැතිවරවණය සඳහා තරග කිරීමට අපේක්ෂා කරන අපේක්ෂකයින්ට මැතිවරණ දිස්ත්‍රික්ක 22ට අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සිය නාමයෝජනා භාරදීමේ හැකියාව පවතින බව, අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

එමෙන්ම, මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනිදා රැස්වීම සඳහා කැඳවන බව ද එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මහ මැතිවරණයේ නාමයෝජනා කැඳවීමෙන් පසු තැපෑලෙන් ඡන්දය සළකුණු කිරීම සිදුකරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර, මෙවර මහ මැතිවරණයේදී වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තෝරා පත්කර ගැනීමට නියමිතව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 19ක්.

එමෙන්ම, අඩුම මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් තෝරාපත් කිරිමට නියමිතව ඇත්තේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව 04ක් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *