හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට 2024 මුල් මාස 4 සඳහා වෙන් කර තිබූ මුදලට සමාන මුදලක් අද (05) ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම මගින් 2025 මුල් මාස හතර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකට ද වෙන් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසයි.
අද පාර්ලිමේන්තුවේ පැවැති අතුරු සම්මත ගිණුම සඳහා වූ විවාදයට එක් වෙමින් එම මහතා පැවසුවේ එසේ වෙන් කර ඇති මුදල රුපියල් ට්‍රිලියන 1.4 ක් බව ය.
“2024 දී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වෙන්කරලා තියෙනවා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය අනුව රුපියල් ට්‍රිලියන 1.4යි. 2025 දී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මාස 4කට ඒ වගේම රුපියල් ට්‍රිලියන 1.4ක් වෙන්කරලා තියෙනවා මේ අතුරු සම්මත ගිණුමේ. ඒ ගණනමයි වෙනසක් නෑ. මොකක්ද වෙනස කොහෙන්ද අඩුකරලා තියෙන්නේ. සිස්ටම් එකේ නෝ චෙන්ජ් අනුර චේන්ජ්. අපට පැහැදිලි කරන්න. ජනාධිපතිතුමා මූලාසන කතාවේදී කිව්වා IMF ගිවිසුම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර ක්‍රියාත්මක කරනවා කිව්වා. ඒක හොඳයි. අපි සජබ ය කිව්වා IMF ගිවිසුමේ රාමුවට එකඟ වුණාට එහි අන්තර්ගත සමහර කරුණු වෙනස්කරනවා කියලා. හැබැයි අද ඔබ තුමාලා අපිට වැඩිය නියෝ ලිබරල් වෙලා.”