යුක්‍රේන යුද්ධයට ශ්‍රී ලංකිකයින් යවන ජාවාරම්කරුවන්ට නීතිය අකුරටම

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් නීති විරෝධි විදෙස් රැකියා ඒජන්තවරුන්ට හසු නොවන ලෙස ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න ඉල්ලීමක් කරනවා.

වසර 30 ක කාලයක් පුරාවට අප රට වෙලාගත් කුරිරු යුද්ධය පරාජය කිරීමට තම දිවිහිමියෙන් කටයුතු කර අප රටට විශාල මෙහෙයක් සිදුකරන ලද ත්‍රිවිධ හමුදා රණවිරුවින් විශාල පිරිසක් සිය විශ්‍රාම දිවිය තුලදී නීතිවිරෝධි කූඨ විදෙස් රැකියා ජාවාරම්කරුවන් පිරිසක් විසින් කරන ලද මිනිස් ජාවාරමක ප්‍රතිඵලයක් ලෙස අනීතික අයුරින් රුසියානු – යුක්‍රේන යුද පෙරමුණට යොමුකර කුලී හමුදා සාමාජිකයන් ලෙස දුක්ඛිත තත්ත්වයට පත්ව ඇති බවට ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත කරුණු අනාවරණය වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙම යුද පෙරමුණුට කටයුතු කරමින් සිටියදී අප රණවිරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් මියගොස් ඇති බවත්, තවත් කොටසක් තුවාල ලබා ඇති බවටත් කරුණු අනාවරණය වී ඇති බවත් ඔහු සඳහන් කළා.

ශ්‍රි ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්හි ගෞරවාන්විතව සේවය කර විශ්‍රාම ගොස් ඇති මෙවන් රණවිරුවන් විදෙස් රටක කුලී හේවායන් ලෙස මෙලෙස කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් ඇති වීම කණගාටුවට කරුණක් බවයි ඔහු පේන්වා දෙන්නේ.

විදෙස් හමුදාවට එක් කිරීම, විශාල වැටුපක් ලබාදීම, පුරවැසිභාවය හිමිගැන්වීම මෙන්ම තවත් විශාල ප්‍රතිලාභ ලබා දෙන බවට ජාවාරම් කරුවන් විසින් ලබා දෙන ලද ව්‍යාජ පොරොන්දු වලට අනුව රණවිරුවන් රුසියානු – යුක්‍රේන යුද පෙරමුණට කුලී හමුදා සාමාජිකයන් ලෙස යොමු කලද ඔවුන් වෙත කිසිදු වැටුපක්, එවැනි ප්‍රතිලාභයක් හෝ මියගිය හෝ තුවාල ලැබු අයට වන්දි මුදල් ලබාදීමට මෙම ජාවාරම් කරුවන් කටයුතු කර නැති බවත් මෙහිදී කරුණු අනාවරණය වී ඇති බවයි ආරක්‍ෂක ලේකම්වරයා සඳහන් කළේ.

ශ්‍රි ලාංකීය පුරවැසියන් වන මෙම රණවිරුවන් විදෙස් රටක කුලී හේවායින් ලෙස යොදා ගැනීමට කටයුතු කර වටිනා ජිවිත අනතුරුට ලක්කිරීම ඉඩ තැබිය නොහැකි බව අවධාරනය කරමින් අප රටේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය සහ බුද්ධි අංශ එවැනි ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා මේ වන විට විශාල මෙහෙයුමක් දියත් කර ඇති බවත් මේ වන විට එයට සම්බන්ධ අයවළුන් කීහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන්ගෙන් හෙලිකර ගන්නා තොරතුරු වලට අනුව මෙම මිනිස් ජාවාරම කරන ජාවාරම්කරුවන්ටත් ඒ හා සම්බන්ධ සමාගම්වලටත් ඒ සඳහා අනුග්‍රහය දක්වන උදව් කරන සියලු දෙනාටත් විරුද්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් ආරක්‍ෂක ලේකම්වරයා තවදුරටත් ප්‍රකාශ කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *