රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෙටුම්පත් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම අරඹයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා.

මෙම පෙත්සම් අද එස්.තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ ශිරාන් ගුණරත්න යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් සලකා බැලීම සිදුවෙනවා.

මේවන විට පෙත්සම්කාර පාර්ශවය නීතිඥවරු විසින් කරුණු ඉදිරිපත් කිරීම සිදුකරනු ලබනවා.

සර්වජන බලය සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, මහාචාර්ය චන්න ජයසුමන සහ ව්‍යවසායක දිලිත් ජයවීර, වෛද්‍ය ජී. වීරසිංහ සහ නිමල් රණවක ඇතුළු පිරිසක් විසින් එක් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඊට අමතරව සමගි ජන බලවේගය, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය , ජාතික ජන බලවේගය, ඇතුළු පාර්ශව 17 ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පත් තුළින් පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය බලය ජනාධිපතිවරයා යටතට පත් කිරීමට කටයුතු කර ඇති බවයි.

මේ තුළින් පාර්ලිමේන්තුව සතු බලය කප්පාදු කිරීමට කටයුතු කර තිබෙන බවත් ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කෙරෙන බවත් පෙත්සමේ චෝදනා කර තිබෙනවා.

එබැවින් යෝජිත පනත් කෙටුම්පත් වල අන්තර්ගත වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සමෙන් චෝදනා කර ඇති බවයි සඳහන් වන්නේ.

එබැවින් අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින් දැනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *