‘රට හදන අපි එකට මාලිමාවට’ තංගල්ල ජයග්‍රාහී ජනතා රැලිය

තීන්දු තීරණ ගත හැකි ශක්තිමත් ජන වරමක් ආණ්ඩුවට අවශ්‍යයි
ජනාධිපති අනුර කුමාර දිසානායක

මේ රටේ ජනතාවට දීර්ඝ කාලයක් පිළුණු වුණ, කැත, අප්‍රසන්න පාර්ලිමේන්තුව වෙනුවට පිරිසිදු පාර්ලිමේන්තුවක් අවශ්‍යව තිබුණා. අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළාට පසුව ඉතා කෙටි දවසකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ කාර්යභාරය, නොවැම්බර් මාසෙ 14දාට කරන්න ජනතාව අතට බාර දීලා තිබෙනවා. නොවැම්බර් 14දාට පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න කලින් සමහර අය ස්වේච්ඡාවෙන්ම පිරිසිදු වෙනවා. අවුරුදු 88කට පසුව හම්බන්තොට හැමදාම තිබෙන නම ඉවත්වෙලා තිබෙනවා. දැනගන්න ලැබී තිබෙන තොරතුරු අනුව 60කට අධික පිරිසක් ස්වේච්ඡාවෙන්ම පිරිසිදු වෙලා තිබෙනවා. ඉතිරි කොටස මේ රටේ ජනතාව අකුරටම පිරිසිදු කරන බවට අපට විශ්වාසයි.

අපි ලබාගත් ජයග්‍රහණය ස්ථාවර ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරන්න නම්, නොවැම්බර් මාසේ 14දා ශක්තිමත් පාර්ලිමේන්තුව බලයක් ජාතික ජන බලවේගය විසින් ලබාගත යුතුයි. හැමදාමත් බොහෝ ජයග්‍රහණ ලබාදුන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි. අසීරුතම අවස්ථාවල දේශපාලන කොඩිය අත්නොහැර ඉදිරියට අරගෙන යන්න විශාල දායකත්වයක් දුන්නේ හම්බන්තොට ජනතාවයි. අපිට විශ්වාසයි මේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ශක්තිමත් බලයක් ජාතික ජන බලවේගයට ලබාදෙන බව. අපි, පියවරෙන් පියවර, ක්‍රමානුකූලව, ස්ථාවරව සහ ශක්තිමත්ව මේ රට ජයග්‍රහණය සඳහා මෙහෙයවනවා. ඒගොල්ලන්ට වුවමනා වෙලා තිබෙනවා අපිව කලබල කරන්න. අපි කලබල වෙන්නේ නැහැ. අපේ රටට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. ඒ සඳහා ප්‍රධාන කැපවීම තිබෙන්නේ අපිටයි. දේශපාලකයන් හැටියට, ආණ්ඩුවේ නායකයන් හැටියට යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා අපේ කැපවීම අපි පෙන්විය යුතුයි.

ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් පසුව අපි ජනතාවට ඔප්පු කර දී තිබෙනවා දේශපාලනය කියන්නේ කුමක්ද? ජයග්‍රහණය සමරන්නේ කොහොමද කියලා. ජාතික ජන බලවේගය ලබාදෙන නායකත්වයට අනුරූපී වෙන අයුරින් ඔබ ඉතාමත් සාමකාමීව, රතිඤ්ඤයක්වත් පත්තු නොකර, අනෙකාට කිසිදු හිංසාවක්, පීඩාවක් දෙන්නේ නැතිව ජයග්‍රහණය සමරන්නේ කොහොමද කියන එක මේ රටේ ජනතාවට ඔප්පු කොට තිබෙනවා. මීට පෙර මහ ඡන්දවලදී, එකිනෙකාට එරෙහිව, ප්‍රහාර එල්ල කරමින්, කාර්යාල ගිනි තබමින්, ගැටුම් ඇති කරමින්, බයෙන් ඡන්ද කරන්න සිදුවී තිබුණා. විශේෂයෙන්ම මේ හම්බන්තොට එවැනි දේ සිදුවුණා. නමුත් මැතිවරණ ව්‍යාපාරයක් ප්‍රජාතන්ත්‍රවාදීව, සාමකාමීව කොහොමද ගෙනයන්නේ කියලා, ජනතාවට අලුත් අත්දැකීමක් ලබාදීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට හැකිවී තිබෙනවා තිබෙනවා.

අද සාමාන්‍ය කාර්යයන් ඒ ආකාරයෙන්ම සිදුවෙනවා. ඡන්දයක් තිබෙනවාද කියා සොයා ගැනීමට බැරි තරමට සාමකාමිත්වය අපි ඇති කර තිබෙනවා. අපට ඕනෙ එහෙම රටක්. දේශපාලන සංස්කෘතිය අතිශය පිරිහීමට ලක්වුණු රාජ්‍යයක්. ප්‍රජාතන්ත්‍රවාදී, සාමකාමිත්වයෙන්, සෑම කෙනෙකුගේ අදහස්වලට ගරු කිරීම්, ඒ අදහස් නිදහස් ලෙස ප්‍රකාශ කිරීමට තිබෙන අයිතීන්, ඕනෑම කෙනෙකුට තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට වැඩකිරීමට තිබෙන අයිතිය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළමුවැනි වතාවට ස්ථාපිත කොට තිබෙනවා. අපේ ආණ්ඩුව ලෝක වාර්තාවක් සහිත ආණ්ඩුවක්. ජනාධිපතිවරයයි, ඇමතිවරු දෙන්නයි. එදිනෙදා කාර්යයන් කිසිවක් බිඳවැටීමට ඉඩ නොදී, අනාගත සැලසුම්, ඒ සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පදනම් සකස් කරමින් අපි, ස්ථාවරව වැඩකරමින් තිබෙනවා. ශක්තිමත්, ධෛර්යවන්ත මිනිසුන්ට, කරන්න බැරි දෙයක් නොමැති බව, අපි ක්‍රියාවෙන්ම ඔප්පුකොට තිබෙනවා. ඒ වගේම රාජ්‍ය වියදම් නාස්ති කිරීම නතර කිරීම, අපි භාවිතාවෙන් තහවුරු කර තිබෙනවා. ඒවා සාමාන්‍ය දේශපාලනය නොවෙයි. මේ රටේ ජනතාව කවදාවත් අත් නොවිඳපු සංස්කෘතියක් අපි පියවරෙන් පියවර ස්ථාපිත කොට තිබෙනවා. ජයග්‍රහණය සමරන්නේ කොහොමද? මැතිවරණ ව්‍යාපාර දියත් කරන්නේ කොහොමද? ආණ්ඩුවක් කරන්නේ කොහොමද? ජනාධිපතිවරයා ඇතුළු ඇමතිවරු, රාජ්‍ය යාන්ත්‍රණය නාස්තිය නතර කරන්නේ කොහොමද? මේ සියල්ල අපි ඔප්පු කරමින් තිබෙනවා. අපි මැතිවරණ ව්‍යාපාරයේදී කිවුවා වගේම ශ්‍රී ලංකාව යළි පුනරුද යුගයක් කරා මෙහෙයවමින් තිබෙනවා. අපි හමුවේ තිබෙන බැරෑරුම් අභියෝගය තමයි ආණ්ඩුව බාරගත් වහාම ආර්ථිකයේ ස්ථාවරත්වයක් නිර්මාණය කිරීම.

ජනාධිපති මැතිවරණ වේදිකාවල අහන්න ලැබුණා ජාතික ජන ජයග්‍රහණය කළොත් “ගෑස් සිලින්ඩරය පුපුරනවා”,“ඩොලරය 400ට යනවා”, “ගෑස් හිඟයක් නිර්මාණය වෙනවා”, “තෙල් හිඟයක් නිර්මාණය වෙනවා”,“ජාත්‍යන්තර සබඳතා නොමැතිවීමෙන් ආර්ථිකය කඩා වැටෙනවා” නොයෙක් දේ කියමින් අපිට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් චෝදනා එල්ල කළා. අපේ ප්‍රබලතම අභියෝගය බවට පත්වෙලා තිබුණේ ආර්ථික ස්ථාවරත්වයක් නිර්මාණය කිරීමයි. අපි කෙටි දවසක් ඇතුළත කොටස් වෙළඳපොළත් එක්ක සම්බන්ධවී තිබෙන ආයෝජකයන්ට අපි විශ්වාසය තහවුරු කළා. අපේ රටේ කර්මාන්තය ව්‍යාපාරයේ යෙදෙන කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට ආර්ථිකය පිළිබඳව අපි විශ්වාසය තහවුරු කළා. ජාත්‍යන්තර සංවිධානත් එක්ක ඉතා හොඳින් රටට හිතකර වන ලෙස ගනුදෙනු කරමින් විශ්වාසවන්ත ආර්ථිකයක් නිර්මාණය කළා. රටේ ජනතාවට, ආයෝජකයන්ට, කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට, ජාත්‍යන්තර ප්‍රජාවට, අපේ ආර්ථිකය පිළිබඳව යම් සැකයක් තිබුණා නම්, ඒ සැකය සම්පූර්ණයෙන්ම තුරන් කොට යළි ස්ථාවර ආර්ථිකයකට අවශ්‍ය පදනම සකස් කොට අවසන්.

අපි මේ වන විටත් රුපියල් 15,000ක් වූ පොහොර සහනාධාරය රුපියල් 25,000දක්වා වැඩි කරමින් මේ මාසයේ සිට ලබාදීමට කටයුතු කළා. විශ්‍රාමිකයන් සඳහා වූ දීමනාව ඔක්තෝබර් මාසයේ සිට රුපියල් 3000ක අතිරේක දීමනාවක් ලෙස ලබාදීමට කටයුතු කළා. දෙසැම්බර් මාසයේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි, මාර්තු වෙනකොට අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට සැලසුම් කොට තිබෙනවා. එම අයවැය ලේඛනයෙන්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳවත්, පාසල් දරුවන්ට ලබාදෙන දීමනාවක් පිළිබඳවත් අපි අවධානය යොමුකොට තිබෙනවා. දිළිඳු ජනතාවට, ආබාධිත පුරවැසියන්ට ලබාදෙන දීමනාව එළඹෙන අයවැය ලේඛනයෙන් වැඩි කරනවා. ඒ වගේම අලුතෙන් රැකීරක්ෂා උත්පාදනය වීමට අවශ්‍ය වෙන ආර්ථික පදනම නිර්මාණය කරනවා. ලෝකයේ සංචාරක ව්‍යාපාරයට අහිතකර බලපෑමක් ඇති වන සිදුවීමක් සිදු නොවුණොත්, ලංකාවට වැඩිම සංචාරකයන් එන වසර බවට 2025 වසර අපි පත් කරනවා.

රටේ ආර්ථිකය ස්ථාවර කරන තෙක් සාමාන්‍ය පුරවැසියන් බලා ගැනීම අපේ වගකීමක්. එය අපි ඉටුකොට තිබෙනවා. ඒ වගේම සහනාධාර මත, දීමනාවන් මත ජීවත් වෙන ජනතාවක් වෙනුවට ඔවුන්ට ආර්ථිකයේ හැකියාවක් නිර්මාණය කරන පදනමක් අපි හදනවා. එය අයවැය ලේඛනයේ සිට ක්‍රමානුකූලව දියත් කරන්න සැලසුම් කොට තිබෙනවා. අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් අපි ඇති කරනවා. සෑම දරුවෙක්ම දැනුම මත හෝ වෘත්තීමය පුහුණුව මත, අත්දැකීම් සහිත දරුවෙක් ලෙස පාසලෙන් එළියට එන්න ඕනෑ. සමහරු අහනවා “හොරු ඇල්ලුවාද?” කියලා. හොරු අල්ලනකොට කෙඳිරි ගාන්න නම් එපා. ෆයිල් 400 ගණනක් තිබෙනවා. සියල්ලම වසා දමා තිබෙන්නේ. සමහර ඒවා නීතිපති දෙපාර්තමේන්තුවේ හිරවෙලා තිබෙනවා. සමහර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිරවෙලා තිබෙනවා. සමහර ඒවා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තුළ හිරවී තිබෙනවා. සමහර ඒවා පැමිණිල්ලකට පමණක් සීමා වී තිබෙනවා. අපි අදාළ ආයතන වෙත උපදෙස් ලබාදී තිබෙනවා, සියල්ල යළි විවෘත කරන්නත්, ක්‍රමාණුකූලව නඩු පැවරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ දියත් කරන්නත්. 2015 වංචනිකයන්ට, දූෂණයන්ට එරෙහි පරීක්ෂණ ප්‍රදර්ශනාත්මක, වැඩ බවට පරිවර්තනය වුණා. ජාතික ජන බලවේගයේ අපි ඉතා සැලසුම් සහගතව, සෑම දත්තයක්ම නිසි පරිදි ඉටුකර ගනිමින්, නිසි පරිදි අධිකරණයේදී දඬුවම් ලබාදිය හැකිවන ආකාරයට නඩුව ගොනුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. දූෂිතයන්ට හා වංචනිකයන්ට දඬුවම් ලබාදිය යුතු බවට, මේ රටේ ජනතාවගේ අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් තිබුණා. එම අපේක්ෂාව ඉටුකරන එක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ කාර්යය. එපමණක් නොවෙයි, අපේ රටට අහිතකර ගිවිසුම් අත්සන් කොට තිබුණා. ඒ ගිවිසුම්වල අනෙක් පාර්ශ්වයන්ට අපි දැනුම් දී තිබෙනවා, මේ ගිවිසුම් යළි සමාලෝචනය කිරීම අවශ්‍ය බව. එම කාර්යයන් කරන්න නම්, ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ශක්තිමත් ජන වරමක් තිබෙන බව සියලු දෙනාට ඒත්තු ගැන්විය යුතුයි. අපට හිතකර පරිදි එම ව්‍යාපෘති වෙනස් කිරීම සඳහා, සාකච්ඡාවල, ගිවිසුම්වල යළි සංශෝධනය සඳහා අවස්ථා ලැබෙන්නේ මොනතරම් ප්‍රමාණයකින් ජනතාව ඒ සඳහා ජනවරමක් දෙනවාද කියන සාධකය මතයි. ඔබ ඒ ජනවරම ලබාදිය යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවුණු අවස්ථාවේ අපි පැහැදිලිව ප්‍රකාශ කළා, අපට ජනතාව දෙන ජනවරමේ ස්වභාවය අනුව අපට සමහර දේවල් පිළිබඳ තීන්දු තීරණ ගන්න සිදුවේවි කියලා. ජනවරම තමයි අප පිටුපස තිබෙන බලය. මේ වනස්කම් සියල්ල කරන්න, එළඹෙන නොවැම්බර් මාසේ 14 වැනිදා ශක්තිමත් ජන වරමක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ලබාදෙන්න කටයුතු කරන්න. සමහර අය හිතනවා මේ ආණ්ඩුව මාසෙන් දෙකෙන් කඩාගෙන වැටෙයි කියා. ජාතික ජන බලවේගය ආරම්භ කළ මේ ගමන මේ රට ගොඩනඟලා, මේ රටේ ජනතාවට හොඳ ජීවිතයක් උරුම කිරීමකින් තොරව මේ ගමන නතර කරන්න බැරි බව සියලු දෙනාම තේරුම් ගත යුතුයි. මේ කඩා වැටී තිබෙන රාජ්‍ය සහතික වශයෙන්, අපි ගොඩනගනවා. දුප්පත්භාවයේ ගිලිටීනයට හිරවෙලා සිටින ජනතාව, දුප්පත්භාවයෙන් අපි මුදා ගන්නවා. ආර්ථිකය නංවන්න, ජනතාවට සහාය දෙන්න, වංචා දූෂණ අවම කරන්න, අපි කටයුතු කරනවා. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අපි නිර්මාණය කරන්න ඕනෑ. ඉදිරි වසර පහ ඇතුළත වැදගත් පරිවර්තනයන් අපි අපේ රටට ගේනවා.

ලංකාවේ, මේ අවස්ථාවේ එම ක්ෂේත්‍රයේ බිහිවී සිටින ප්‍රබලතම විද්වතා, අත්දැකීම් තිබෙන කෙනා, තමන්ගේ සියල්ල අත්හරිමින්, ස්වේච්ඡාවෙන්, අපේ රටේ සමස්තය ඩිජිටල් කිරීමේ ව්‍යාපෘතියට නායකත්වය ලබාදෙන්න සූදානම්. තව සතියකින් හෝ දෙකකින් අපි එය ආරම්භ කරනවා. අපේ ආණ්ඩුවේ පළමු කාලය නිමාවීමට පෙර, අපේ රටේ සියලු පුරවැසියන්ට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා ගැනීමට, රජයට තමන්ගේ කාර්යය පහසුවෙන් ඉටුකර ගැනීමට, බදු ගෙවන්නේ කොහොමද? බදු එකතු කරන්නේ කොහොමද? ආධාරයක් ලැබෙන්නේ කොහොමද? පාසල් දරුවාට යම් ආධාරයක් ලබාදෙන්නේ කොහොමද? මේ සියල්ල තාක්ෂණය මගින් කිරීමට අවශ්‍ය වෙන පසුබිම මේ පළමු ආණ්ඩු කාලය ඇතුළත අපේ රටේ ස්ථාපිත කරනවා. නව යුගයකට, නව තලයකට අපේ රට අවතීර්ණ කරනවා. ෆයිල් ගොඩගසන රාජ්‍ය සේවයක් වෙනුවට, ජනතාව රස්තියාදු වෙන රාජ්‍ය සේවයක් වෙනුවට, නිවසේ සිට තමන්ගේ රාජකාරිය කර ගැනීමට හැකි තත්වයක්, ඉතා පහසුවෙන්, කාර්යක්ෂමව රජය විසින් තමන්ට ලබාගත යුතු සේවාවන් ලබාගත හැකි තත්වයක්, පෝලිමේ නොසිට පොහොර සහනාධාරය, අස්වැසුම, දරුවන්ට අවශ්‍ය මෙවලම් ටික, ලබා ගැනීමට හැකි ඉතාමත් ශක්තිමත්, ඩිජිටල් ආර්ථිකයක් බවටත්, රාජ්‍ය සේවයක් බවටත් නූතන සියවසට ගැලපෙන පරිදි ශ්‍රී ලංකාව පරිවර්තනය කරනවා. ඒ සඳහා අපි අලුත් අමාත්‍යාංශයක් ගොඩනඟනවා. ඒ සඳහා විශාල අත්දැකීම් සහිත කණ්ඩායම් මිලියන ගණනින් වැටුප් ලබන අය, සියල්ලම අත්හැර ස්වේච්ඡාවෙන් මේ රට ගොඩනැගීමේ කාර්යයට පණ පොවන්න සූදානමින් ඉන්නවා.

ඒ වගේම අපේ රට පිරිසිදු ශ්‍රී ලංකාවක් බවට පරිවර්තනය කරනවා. පරිසර පද්ධතියට ආදරය කරන, පිරිසිදුභාවය තිබෙන, කැළිකසල තැනින් තැන දමා නොයන, වෙරළ තීරය ආරක්ෂා කරගන්න, මංසන්ධි, කඩපොළ පිරිසිදු කරන “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය ආරම්භ කර, මේ වසර කිහිපය ඇතුළත, ලංකාව ලෝකයේ පිරිසිදුභාවයේ සංකේතය බවට පරිවර්තනය කරනවා. ඒ සඳහා විශාල සැලසුම් ප්‍රමාණයක් අපි සකස්කොට තිබෙනවා. අපි පර්වර්තනීය යුගයකටයි මේ පය ගසා තිබෙන්නේ. සමහර අය කියනවා, එයාලගෙන් අපි පළිගන්න හදනවා කියලා. අපි කිසිදු කෙනෙක් ගෙන් පළිගන්නේ නැහැ. නමුත් මහජනතාවගේ දේපොළ කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන, දේශපාලනඥයන්ට ඉඩ දෙන්නේ නැහැ. හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකුට වාහන 16ක් හා ඇම්බියුලන්ස් රථ දෙකක් බැගින් ලබාදී තිබුණා. ඒවා ඉතා ඉක්මනින් බාර දෙන්න අපි කිවුවා. දැනට තිබෙන චක්‍රලේඛ අනුව වාහන තුනක් හිමියි. ඒ වාහන තුන ලබාදෙනවා. අපි කමිටුවක් පත්කොට තිබෙනවා, චක්‍රලේඛන සංශෝධනය කරලා, හිටපු ජනාධිපතිවරු බලා ගන්න එක ආණ්ඩුව නතර කරනවා. කවුරු හෝ කෙනෙකුට ආරක්ෂාව පිළිබඳව තර්ජනයක් තිබෙනවා නම්, අපි ආරක්ෂාව ලබාදෙන්නම්. හැබැයි ආරක්ෂාව කියන ලේබලයට මුවා වෙලා, ජනතාවගේ දේපළ නාස්ති කරන්න කිසිවෙකුට ඉඩ දෙන්න බැහැ. ආසන්නව හිටපු ජනාධිපතිවරයා, කෝකියෝ 16ක්, ආරක්ෂාවට 163ක්, වාහන විසි ගණනක්, කුඩ 30ක්, අවශ්‍ය බවට අපට ලිපියක් එවා තිබෙනවා. අපි ඒවා දෙන්නේ නැහැ. මේ රටේ ජනතාවගේ ධනයෙන් නාස්තිකාර ජීවිත ගත කරලා, ඒවා එයාලගේ අයිතියක් ලෙස හිතාගෙන ඉන්නවා. ඒවා අයිතියක් නොවෙයි. ඇම්බියුලන්ස් ගෙදර තබාගෙන ඉන්න දෙන්නේ නැහැ. ආරක්ෂාවට තර්ජනයක් කියලා බොරුවට නිවේදන දාන්න එපා. මහජනතාවගේ දේපළ, අයිතියක් ලෙස නාස්ති කිරීමේ උත්සාහයක් මේ තිබෙන්නේ. ඒවා නතර කිරීම සඳහා මේ රටේ ජනතාවගෙන් අපට ජන වරමක් ලැබී තිබෙනවා. ඒ ජනවරමට අනුව කටයුතු කිරීම තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කරන්නේ.

ඒ වගේම ආයුධ සහ පිස්තෝල තබා ගන්න බලපත්‍ර විශාල ප්‍රමාණයක් ලබාදී තිබෙනවා. අපි ඒවා නැවත ලබාදෙන්න ලෙස ඉල්ලුවා. ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තිබෙනවා නම් සමාලෝචනය කොට, නැවත අපි දෙන්නම්. අපේ රටේ තැන තැන ඝාතන සිදුවෙනවා. විශාල ලෙස ආයුධ ප්‍රමාණයක් සංසරණය වෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දුට ආයුධ හයක්, හතක් දී තිබෙනවා. යෝෂිතට දී තිබෙනවා. ඇවන්ගාඩ්ට ආයුධ 08ක් දී තිබෙනවා. ඒ සියල්ලම ආපසු ආණ්ඩුවට බාර දෙන්න ඕනෑ. නීත්‍යානුකූලව ලබාදී තිබෙන ආයුධ නැවත නිවැරදි පරිදි සමාලෝචනය කොට, පසුව රටේ තිබෙන නීති විරෝධී ගිනි අවි අත්පත් කර ගැනීම සඳහා රාජ්‍ය මෙහෙයුමක් දියත් කරනවා. තැන තැන සිදුවෙන ඝාතනයන්, අපරාධයන් නවත්වන්න ඕනෑ. අපට ජනවරම ලබාදී තිබෙන්නේ ඒකට. ඒ සඳහා අවශ්‍ය පියවර අපි ගන්නවා. අපි මත් කුඩුවලින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ වගකීම බාර ගන්නවා, ඒ සඳහා සැලසුම් දියත් වෙමින් තිබෙනවා. අපි පියවරෙන් පියවර, ශක්තිමත්ව මේ රට ජයග්‍රහණය සඳහා මෙහෙයවීමේ වගකීම ජාතික ජන බලවේගයේ අපි බාර ගන්නවා.

මේක මගේ රට වගේම ඔබේත් රට. අපේ දරුවන්ගේ පමණක් නොවෙයි, අපේ සියලුම දෙනාගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ තිබෙන ප්‍රශ්නය. මේක විසඳන්න නම්, මේ පරම්පරාවේ අපි ඒ සඳහා වැඩ කළ යුතුයි. ඒ සඳහා මෙහෙය විය යුතුයි. අපේ පරම්පරාව ඒ වෙනුවෙන් මහන්සි වෙමු; කැප වෙමු. අපේ අනාගත පරම්පරාවට හොඳ ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු. මේක තමයි අවස්ථාව. අනෙක් දේශපාලන පක්ෂවල තිබෙන්නේ කුඩා කුඩා කෙඳිරිලි. ඒවා දුකට කියන කතා. අවුරුදු 88කට පස්සේ ඡන්ද අපේක්ෂක ලැයිස්තුවේ නම නැහැනේ. ඒ නිසා දුකයි. අපි ඉතා ශක්තිමත්ව, ස්ථාවරව මේ පාලනය ඉදිරියට ගෙනියනවා.

මේ සඳහා අපට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. අපි අමාත්‍යාංශ විද්‍යාත්මකව හදා තිබෙනවා. නොවැම්බර් 14 දිනෙන් පසුව උපරිම අමාත්‍යාංශ 25කට ස්ථාපිත කරනවා. ඒකට අවශ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරු පත්කරනවා. මේ රට ආපසු හරවන්න බැරි තරමේ ජයග්‍රහණයන් සඳහා අපි මෙහෙයවනවා. අපේ අපේක්ෂාවන්ට, අපේ අරමුණු සඳහා මෙහෙයවීමට ශක්තිමත් වෙන, දායකත්වයක් ලබාදෙන පාර්ලිමේන්තුවක් අපට අවශ්‍යයි. අද අවශ්‍ය වී තිබෙන්නේ බලවත් ආණ්ඩුවක්. මේ සකස් කොට තිබෙන න්‍යාය පත්‍රය, මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා බලවත් ආණ්ඩුවක් අවශ්‍යයි. පාර්ලිමේන්තුව ප්‍රමාණයෙන් බලවත් වෙන්න ඕනෑ. පාර්ලිමේන්තුව නියෝජනය වන කණ්ඩායම ගුණාංගවලින්, අවංකභාවයෙන්, අදූෂිතභාවයෙන්, අධිෂ්ඨානශිලිත්වයෙන් බලවත් වෙන්න ඕනෑ. එවැනි බලවත් ආණ්ඩුවක් නොවැම්බර් මාසයේ 14වැනිදායින් පසුව ගොඩනඟමු. ඒ වෙනුවෙන් සියලු දෙනා එකතු වෙමු. පෙළගැසෙමු.

එළඹෙන 14 රටේ ශක්තිමත්ම පාර්ලිමේන්තුව නිර්මාණය කර ගනිමු
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

අද අපි මෙතනට රැස්වෙලා ඉන්නේ අපේ රටේ විශාලම ජයග්‍රහණය අත්පත් කරගෙනයි. අද අපිට කටපුරා සහෝදරයා කියලා ආමන්ත්‍රණය කරන්න පුළුවන් ජනාධිපතිවරයෙක් තෝරා පත්කරගෙන ඉන්නවා. අපිට ජනාධිපති බලය ලැබුණා වගේම එම බලය සම්පූර්ණ වෙන්න නම් පාර්ලිමේන්තු බලයද ලැබිය යුතුයි. මෙතෙක් අපේ රටේ පාර්ලිමේන්තුවේ හිටියේ වාසියට එහෙට මෙහෙට පනින දූෂිත පාර්ලිමේන්තු කණ්ඩායමක්.

නොවැම්බර් 14 පවත්වන මහ මැතිවරණයෙන් ජනතාවට සැබෑ ලෙසම වගකියන ජාතික ජන බලවේගයේ විශාලම මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවිය යුතුයි. අපි හම්බන්තොට දිස්ත්‍රික්කයට ඉදිරිපත් කරලා තියෙන්නේ ජනතා විශ්වාසය ඉහළින් දිනා ගත් කණ්ඩායමක්. මේ දිස්ත්‍රික්කයෙන් පත් කරන්න පුළුවන් මන්ත්‍රීවරු 07දෙනෙක් විතරයි. අපි ඔබෙන් ඉල්ලා සිටින්නේ එම 07 දෙනාම ජාතික ජන බලවේගයෙන් තෝරා පත්කරලා රටටම ආදර්ශයක් දෙමු කියලා.

වසර 76ක් තිස්සේ එක කණ්ඩායමක් බලය අරගෙන මේ රටේ ජනතාව තලා පෙලා දමමින් හිටියා. ඔවුන් රට විකුණුවා; රට වැට්ටුවා. රටේ ජනතාවට කළ හැකි සියලු අකටයුතුකම් කළා. මහජන මුදල් හොරා කෑවා. අවලස්සන දේශපාලන සංස්කෘතියක් අපේ රට තුළ ස්ථාපිත කළා. ඒක වෙනස් කරන්න, දැන් අපිට අවස්ථාව ලැබී තිබෙනවා. අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා වගේම එතනින් එහාට මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඉදිරියට යා යුතුයි. දැනට ජනාධිපතිවරයා දිනලා සති තුනයි. ඒ මේ කෙටිකාලය තුළ අපේ රටේ දේශපාලන සංස්කෘතියේ වෙනස්කම් බොහෝමයක් ඇති කර තිබෙනවා. අපි ජයග්‍රහණය සමරන්න සංදර්ශන තිබ්බේ නැහැ. ජනාධිපතිවරයා දිවුරුම් දුන්නෙත් ඉතාම චාම් අන්දමට. අපි දිනුවට පස්සේ අනෙක් පක්ෂ වගේ අපේ ඥාතීන්, බිරින්දෑවරු වටකරගෙන සිදුකළේ නැහැ. අපි ඒ විදිහටයි ආදර්ශය දීලා තිබෙන්නේ.

මේ මැතිවරණය දිනන එක අපිට දැන් හරිම පහසුයි. මොකද? පරාජිත කණ්ඩායම් දැනටම බිම ඇදගෙන වැටිලා. ඒ ගොල්ලන්ට උතුර දකුණ සොයා ගන්න බැරිවෙලා. 80කට ආසන්න පිරිසක් දැනටම තරගයෙන් ඉවත්වෙලා. ඒ ගොල්ලෝ දන්නවා ඒ ගොල්ලන්ගේ පරාජය නියතයි කියලා. මේ පරාජයට පත්වූ පොහොට්ටුවේ, එ.ජා.ප.යේ, සමගි ජන බලවේගයේ කණ්ඩායම් ජනාධිපතිවරණයට පෙර අපි ගැන මොන තරම් බොරු බේගල් පැතුරුවාද? ඒවා සියල්ල දැන් අවලංගු වෙලා. ජාතික ජන බලවේගයට ජාත්‍යන්තර සම්බන්ධකම් නැහැ කිවුවා. ඒ නිසා අපි බලයට පත්වුණොත් රට අගාධයෙන් අගාධයට යනවා කිවුවා. දැන් මොකද වෙලා තියෙන්නේ. අද ලෝකය පුරාම රාජ්‍ය නායකයන්, නිලධාරීන් අනුර සහෝදරයා මුණ ගැසෙන්න එනවා; ආධාර කරනවා. අපි දැනටමත් පෙන්නලා තිබෙනවා ලෝකයේ වැඩිම ජාත්‍යන්තර සබඳතා පවත්වන්න පුළුවන් ආණ්ඩුව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කියලා.

ඒ ගොල්ලෝ අපිට කිවුවා, මාලිමාවේ ආණ්ඩුවක් හදන්න එපා. අපිට පළපුරුද්ද නැහැ. අත්හදා බැලීම් කරන්න එපා කියලා. ඒගොල්ලන් රොත්තක් එකතු කරගෙන කරපු ඇමතිකම් ටික දැන් අපේ තුන්දෙනෙක් යසට කරගෙන යනවා. කොහොමද පළපුරුද්ද? ඒ ගොල්ලෝ තව කිවුවා, අපි ආපුවහම කොටස් වෙළඳපොළ කඩා වැටෙනවා කියලා. රුපියල කඩා වැටෙනවා කිවුවා. ආර්ථිකය වැටෙනවා කිවුවා. දැන් කොටස් වෙළඳපොළ වර්ධනය වෙලා. රුපියල ශක්තිමත් වෙලා. දැන් අරගොල්ලෝ කියපු බොරු ඔක්කොම කණපිට හැරිලා. අපි බලයට ආවොත් මේ රට ලේ විලක් ඇති වෙනවයි කිවුවා. ප්‍රචණ්ඩ ක්‍රියා රට පුරා පැතිරෙයි කිවුවා. නමුත් ඔබ දන්නවා අපි ජයගත්තට පස්සේ නගරයක එක රතිඤ්ඤා කරලක් වත් අපි පත්තු කළේ නැහැ කියලා. අපිට ඡන්දය නොදුන් අයට අපි රිදවන්න ගියේ නැහැ. අපිට ඡන්දය නොදුන් අයටත් අපි කියන්නේ මෙවර මහ මැතිවරණයේදී අපිට ඡන්දය දීලා මේ ජයග්‍රහණය තව තවත් ශක්තිමත් කරලා රට විජයග්‍රහණය කරා රැගෙන යන්න දායක වෙන්න කියලා.

ඒ ගොල්ලෝ තව අපිට කිවුවා අපි බලයට ආවට පස්සේ ආගම් අදහලා ඉවරයි කියලා. පන්සල් කඩා දමයි කිවුවා. පෙරහැර කරන්න දෙන්නේ නැහැ කිවුවා. පන්සල්වලට දානය දෙන්නේ නැහැ කිවුවා. සමහර භික්ෂූන් වහන්සේලා තුන් හතර දෙනෙක් පාවිච්චි කරලා අපිට විරුද්ධව නොයෙකුත් බොරු අවලාද පැතිරෙව්වා. අපි මේ රට හදන්නේ ආගමික නායකයොත් එකතු කරගෙන. අපේ හතුරන් අපිට විරුද්ධව නගපු සියලු චෝදනා සතියක් යන්නටත් පෙර ජාතික ජන බලවේගයේ පාලනය විසින් අවලංගු වන තැනට වැඩ කර තිබෙනවා. මේ බිංදුවටම වට්ටපු රට දැන් අපි හදන්න ඕනෑ. සමහරු සතියෙන් දෙකෙන් අපෙන් ප්‍රාතිහාර්යයන් බලාපොරොත්තු වෙනවා. අපි මේ රට ගොඩනගන්න පියවරෙන් පියවර ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. අපි ජනාධිපතිවරණයෙන් ලැබූ ජය ඉතිහාසයේ සුවිශේෂී ජයක්. අපිට දැන් ඉන්නේ පොදු ජනතාවගේ නායකයෙක්. අපි දැන් මේ ජයග්‍රහණය තව තවත් ශක්තිමත් කර ගන්න ඕනෑ. ඒ නිසා ලබන 14 වැනිදා අපි අපේ රටේ ශක්තිමත් කර ගන්න ඕනෙ. ලබන 14 වැනිදා අපි අපේ රටේ ශක්තිමත්ම පාර්ලිමේන්තුව නිර්මාණය කර ගනිමු. අපේ විරුද්ධවාදීන් නගන අවලාදවලට නොරැවටී අපි හැමෝම සියලු භේදයන් පසෙකලා එක මිටකට එක්වී මේ මහා මැතිවරණයේදී මාලිමාව විජයග්‍රහණය කර මේ රටේ නව පුනරුද යුගයක් උදාකර ගනිමු.

පාර්ලිමේන්තුව ශුද්ධ කිරීමේ වගකීම ජනතාව තම අතට ගත යුතුයි
ඉංජිනේරු මොහොමඩ් ඉට්ටියාස්

නිදහස ලැබීමට පෙර විදේශිකයන් අපේ රට දූෂණය කළා. නිදහස ලැබිලා අවුරුදු 76ක් ස්වදේශික පාලකයන් මේ රට දූෂණය කළා. ඒ තත්වය වෙනස් කිරීමේ අවස්ථාව අපිට පසුගිය සැප්තැම්බර් 21 උදා වුණා. ලෝකයේ දියුණු රටවල වගේ අපේ රටේ දියුණුවේ මාවත එදා විවෘත වුණා. ඒ වගේම මේ රට විනාශ කරපු ඒ ප්‍රභූ දූෂිත දේශපාලන නායකත්වය හා ඔවුන් සමග අත්වැල් බැඳගත් දූෂිත නිලධාරී තන්ත්‍රය සදහටම මේ රටින් තුරන් කිරීමේ මාවත නොවැම්බර් 14 දින අපේ රටේ ජනතාවට උදා වෙනවා. ජරාජීර්ණ වූ දූෂිත දේශපාලනඥයන්ගෙන් පිරී තිබූ අපේ රටේ පාර්ලිමේන්තුව රටට ආදරය කරන බුද්ධිමත් මිනිසුන්ගෙන් පුරවා එය ශුද්ධ පවිත්‍ර කිරීමේ වගකීම නොවැම්බර් 14 දින මේ රටේ ජනතාව තම අතට ගත යුතුයි.

මෙතෙක් මේ රටේ පාලකයන් කළේ මේ රටේ ජාතීන් අතර සමගිය ඇති කළ හැකි සියලු අවස්ථා අතහැර, ජාතිය අතර බේදවීම් තව තවත් වර්ධනය කිරීමයි. ඒ දේ ඔවුන් කළේ අපිව කොටවා ඔවුන්ගේ බලය, තහවුරු කර ගැනීම සඳහායි. අද උතුරේ, දකුණේ, නැගෙනහිර, බටහිර කඳුකරයේ සියලු ජනතාව ජාතික ජන බලවේගය වටා එක්වී හමාරයි. ඒ එක්සත්කමේ ප්‍රතිඵලය ගන්න දිනය අපට නොවැම්බර් 14 උදාවෙනවා. එදාට අපේ රටේ පාර්ලිමේන්තුව ජාතිකත්ව බෙදීම්වලින් තොර දකුණු ආසියාවේ ආදර්ශවත්ම පාර්ලිමේන්තුව බවට පත් කිරීමට අපේ රටේ ජනතාව තීන්දු කරන බව අපිට සහතිකයි.

අපේ රට හරිම සුන්දරයි. සම්පත් ගොඩක් අපට තිබෙනවා. අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉහළට ආපු තරුණයන්. අපේ රටේ ඉංජිනේරුවන්ගේ දැනුමෙන් අද ප්‍රයෝජන ගන්නේ විදේශ රටවල්. අපේ රටේ තරුණ ප්‍රජාවට ඔවුන්ගේ දැනුමෙන් හැකියාවෙන් ප්‍රයෝජන ගන්න තිබෙන අවස්ථා මේ රටේ පාලකයෝ අහුරලා තිබෙනවා. එනිසා කොතරම් දුෂ්කරතා මැද වුවත් විදේශ ගත වෙන්නට ඔවුන්ට සිදුව තිබෙනවා. මම විදේශගත වෙලා ඉඳලා මේ රටට ආවේ අනුර සහෝදරයන්ගේ නායකත්වයෙන් ජාතික ජන බලවේගය ගෙන යන ජනතාවාදී පාලනයට සහයෝගය දෙන්නයි. ඒ සතුට මම අද භුක්ති විඳිනවා. අද රට නිවැරදි මාවතේ ගමන් කරනවා. ඒ සතුට අපි භුක්ති විඳිනවා. ඒ නිසා මම ආරාධනා කරනවා, ඒ සතුට ලබාගැනීමට කැපවුණු මෙන්ම එයට සහභාගි නොවූ අයටත් මේ සතුට ජීවිත කාලය පුරා ලබන්නට නොවැම්බර් 14 දින ඔබේ වටිනා ඡන්දය ජාතික ජන බලවේගයට ලබාදී අප මේ ලැබූ ජයග්‍රහණය විජයග්‍රහණය කිරීමට එක මිටට දායක වෙන්න කියලා.

පාර්ලිමේන්තුව මාලිමාවේ ආදරණීය මිනිසුන්ගෙන් පුරවමු
වෛද්‍ය සඳරුවන් මදරසිංහ

අපේ අනුර සහෝදරයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව පවත්වන පළමු ජනතා රැලිය තමයි අද අපි තංගල්ලේ නගරයේ පවත්වන්නේ. මේ ජයග්‍රහණය අපි ලබා ගත්තේ මෙතෙක් මේ රට පාලනය කළ නිල් – කොළ දේශපාළුවන්ගේ දූෂිත පවුල් පාලනය නිසාම නොවෙයි. අපේ සහෝදර සහෝදරියන් දශක ගණනාවක් තිස්සේ මේ ජයග්‍රහණය ලැබීම සඳහා තම ශ්‍රමය, ධනය මෙන්ම ජීවිතද කැප කළා. මේ ජයග්‍රහණය ඒ හැම පරිත්‍යාගයකම එකතුවක්. ඒ වගේම ලක්ෂ 57ක් පමණ ජනතාවක් අනුර සහෝදරයා ගැන විශ්වාසය තබලා, පසුගිය ජනාධිපතිවරණයේදී තමන් ඡන්දය පාවිච්චි කළා. මෙම ජයග්‍රහණය ඒ සියල්ලේම එකතුවක්.

මම අවුරුදු ගණනාවක් හම්බන්තොට රෝහලේ වෛද්‍යවරයෙක් ලෙස සේවය කළා. මම දැකලා තිබෙනවා බෙහෙත් ගන්න ආ සමහර ලෙඩ්ඩු පොලිමේ ඉන්න ගමන් කලන්තෙ දාලා වැටෙනවා. ඒ වගේම හවස ක්ලින්ක් එකට ඇවිල්ලා බස් එකේ යන්න සල්ලි නැතිව ඉන්නවා. සමහර විට පා පැදිය පැදගෙන ගිහිල්ලා මඟදි අලි ගහලා නැවත රෝහලට රැගෙන ආ ලෙඩ්ඩු මම දැකලා තිබෙනවා. ඒ වගේම ඉස්පිරිතාලෙ බෙහෙත් නැතුව ඒවා පිටින් ගන්න වෛද්‍යවරු තුණ්ඩුව දෙනකොට ලොකු හුස්මක් උඩට ඇදලා පහළට දාපු ලෙඩ්ඩු මම දැකලා තිබෙනවා. ඒ වගේම තම බිරිඳගේ පරීක්ෂණ ටික කර ගන්න බැරුව කුඹුර උගස් කරපු ගොවියන් ගැන මම අහලා තිබෙනවා. රෝහලට යන්න එන්න සල්ලි නැතිව තම ගෙදර ටකරන් ටික විකුණපු පවුල් ගැන විස්තර මම අහලා තිබෙනවා.

ඒ සෑම දෙයකින්ම මේ රටේ සෞඛ්‍ය ප්‍රශ්නය විසඳන්න නම් මේ රටේ දේශපාලන අධිකාරිය වෙනස් කළ යුතු බව අපිට වැටහී ගියා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය මත මේ රටේ ඖෂධ මත පසුගිය රජයන් පනවා ඇති බද්ද ඉවත් කිරීමට අප තීරණය කර තිබෙනවා. ඒ වගේම ගුණාත්මක බවින් උසස් ඖෂධ රෝහලේවලින් ලබා දෙන්නටත් අපි ප්‍රතිපත්ති සකස් කර තිබෙනවා. ඒ වගේම ළඟම තිබෙන රෝහලින් ඔබේ පරීක්ෂණ ටික කර ගන්න පුළුවන් ක්‍රමවේදයක් අපේ ආණ්ඩුවක් යටතේ අප සකසා දෙන්න සැලසුම් සකස් කර තිබෙනවා.

අද රෝහල්වල එක ඇඳක ලෙඩ්ඩු දෙන්න ගානේ ඉන්න තත්වයක් උදාවෙලා තිබෙනවා. සමහර ලෙඩ්ඩු බිම. සමහර අය වාට්ටුවේ එළියෙන් ඉස්තෝප්පුවේ බිම. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුල් තැන දී තිබෙන කාරුණක් තමයි, එකක් ලෙඩ අඩු කරන එක. අනෙක හැම රෝගියෙකුටම අවශ්‍ය පහසුකම් සලසා දෙන එක. අද අපේ රටේ හෘද රෝගීන් තම බයිපාස් සැත්කම කර ගැනීමට නොහැකිව අවුරුදු හතර පහක් පෝලිම් ලිස්ට් එකේ බලාගෙන ඉන්නවා. ඔවුන්ගෙන් සමහරක් ඒ පොලිමේම මැරී යනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙනවා, දිස්ත්‍රික්කයකට හෘද රෝග ඒකකයක්. පිළිකා රෝග ඒකකයක්, අක්ෂි රෝග ඒකකයක් ලබාදීමේ වැඩපිළිවෙළක්. අපි ඒ වැඩපිළිවෙළ ආරම්භ කරනවා. අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නම් ජාතික ජන බලවේගයට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි.

මේ රටේ ලක්ෂ 85ක් පමණ තරුණ තරුණියන් ජීවත් වෙනවා. පසුගිය ඡන්දයේදී ලක්ෂ 13ක පමණ අලුත් ඡන්ද ප්‍රමාණයක් පාවිච්චි වුණා. මේ රටේ ඉගෙන ගත්තු තරුණ තරුණියන්, දේශපාලකයන් පස්සේ ගිහිල්ලා රැකියා අයදින ක්‍රමය වෙනුවට, තම හැකියාවට, උගත්කමට සරිලන රැකියාවක් බාධාවකින් තොරව ලබාගැනීමේ අවස්ථාව මේ රට තුළ විවෘත කිරීමට සැලසුම් සකසා තිබෙනවා. ඒ වගේම මේ රටේ ව්‍යාපාරිකයින්ට තම ව්‍යාපාර පහසුවෙන් කරගෙන යා හැකි වාතාවරණයක් අපේ ආණ්ඩුව යටතේ අපි නිර්මාණය කර දෙනවා. අපි ඔබෙන් බලය ඉල්ලන්නේ අනුර සහෝදරයා ගෙන යන මේ නව වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන ගොස් මේ රටට නව පුනරුද යුගයක් උදාකර දීමටයි.

මේ වේදිකාවෙ ඉන්නේ ටික දෙනෙක් වුණාට ඒ පිටුපස අපේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන සිය දහස් ගණනක් මිනිසුන් මේ පිටුපස ඉන්නවා. අපි මේ රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීමට දිවිහිමියෙන් කැපවෙනවා. මෙවර මහා මැතිවරණයේදී මේ රට නව යුගයක් කරා රැගෙන යාම සඳහා මේ රටේ පාර්ලිමේන්තුව මාලිමාවේ ආදරණීය මිනිසුන්ගෙන් පුරවමු කියා මා ඔබෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

What's your reaction?

Related Posts

1 of 472

Leave A Reply

Your email address will not be published. Required fields are marked *