රනිල් වික්‍රමසිංහගෙන් අභියෝගයක්

සිල්ලර දේශපාලන කතා කියමින් කාලය කා දමන්නේ නැතිව මැතිවරණ වේදිකාවේදී ජනතාවට දුන් පොරොන්දු කන්ද ඉටුකරන සැලසුම වහා රටට හෙළි කරන්නැයි අනුර කුමාර ජනාධිපතිවරයාට අභියෝග කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බියගම දී ඊයේ (6)පැවසීය.
පාර්ලිමේන්තු මැතිවරණයට කවුරුවත් නොදන්නා “සැඟවුණු අමුත්තන්” ඉදිරිපත් කරමින් මාලිමාව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරන්නට උත්සාහ කරමින් සිටින බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරඟ කරන ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා බියගම දෙල්ගොඩ පැවැති ජන හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
පැය විසි හතරකින් මේ සෙනග එකතු කරන්න පුළුවන් නම් ඔබට හොඳ සංවිධාන ශක්තියක් තිබෙනවා.සජබෙ දැන් අනුර සරණං ගච්ඡාමි, හරිනි සරණං ගච්ඡාමි,විජිත සරණං ගච්චාමි කියන්න පටන්ගෙන තිබෙනවා. ඊට අකමැති සජබ පාක්ෂිකයනුත් අප එකතු කර ගත යුතුව තිබෙනවා.මාලිමාව දුන් පොරොන්දු ඉටු නොවීම නිසා අනාථ වී සිටින රජයේ නිලධාරීන්ද අපට එකතු කරගත යුතුව තිබෙනවා.
අප ජනතාව හමුවට එවන්නේ පලපුරුද්දක් තිබෙන පිරිසක්.රුවන් විජයවර්ධන මහතා දේශගුණ විපර්යාස පිළිබඳ උගතෙක්.එතුමා මගේ උපදේශක ලෙසත් කටයුතු කළා.ස්වභාවික විපත් කළමනාකරණය කිරීමේ දැනුම එතුමාට තිබෙනවා.අමාත්‍යාංශ කිහිපයක් කොට පළපුරුද්ද තිබෙන අය අප අතර සිටිනවා.ලසන්ත අලගිය වන්න, නිමල් ලංසා,නලින් ප්‍රනාන්දු වැනි දක්ෂ ඇමතිවරුන් ගම්පහින් මැතිවරණයට ඉල්ලනවා.
මෙවැනි පළපුරුදු පිරිසක් පාර්ලිමේන්තුවට අත්‍යවශ්‍යයි.පල පුරුද්දක් නැතිව රටක් ගෙනියන්නට බැහැ. පසුගිය පාර්ලිමේන්තුවෙන් විශාල වැඩ කටයුත්තක් කෙරුණා.ජනාධිපති ධුරය භාර ගන්නා විට හිටියේ මා පමණයි.එහෙත් මා ඉල්ලීමක් කළ විට පක්ෂ බේදයකින් තොරව බහුතරයක් දෙනා මට සහයෝගය දුන්නා.ඒ නිසා තෙල් පෝලිම් සියල්ල නැති කරන්නට හැකියාව ලැබුණා.රුපියල නැවත ශක්තිමත් වුණා.ආර්ථිකය නැවත සක්‍රීය වුණා. කන්න පහක් හොඳින් ගොවිතැන් කරන්නට හැකියාව ලැබුණා.අද රට මේ තත්ත්වයේ තිබෙන්නේ ඒ අය සහයෝගය දුන් නිසයි. ඒ අය සහයෝගය නොදුන්නා නම් වන්නේ කුමක්ද?එසේ නම් රට සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා.මෙතන ඉන්නේ හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය හැකි පලපුරුදු පිරිසක්.
පාර්ලිමේන්තුව හොර ගුහාවක් යැයි ජනාධිපතිවරයා සහ මාලිමාව පවසනවා.ෆයිල් හාරසීයක් තියෙන බව කිව්වා.මේ පාර්ලිමේන්තුව තිබුණේ නැතිනම් අද ආර්ථිකයේ ස්ථාවර බවක් ඇතිවන්නේ නැහැ.හොරු අල්ලන නීතිය සම්මත කළේ මේ පාර්ලිමේන්තුවෙන්.මා ජනාධිපති ධුරයට පත් වූ පසුව දූෂණ විරෝධී නීතිය ඉදිරිපත් කොට සම්මත කරගත්තා.හොරු අල්ලන නීති සම්මත කලා වගේම අපරාධයකින් අත්පත් කරගත් දේපල රාජ සන්තක කිරීමේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
හොරු ඉන්නවා නම් ඔවුන් අල්ලන මාර්ගය අප ඇති කර තිබෙනවා.මේ රටේ මුදල් පාලනය කරන්නේ පාර්ලිමේන්තුවයි.එසේ නම් පළපුරුදක් තියෙන අය පාර්ලිමේන්තුවට එවන්න.
මාලිමාව ලැයිස්තුවේ අඩු ගණනේ ඔබ දන්නා අය ඉන්නවද?එම අරුම පුදුම අපේක්ෂකයන් ආසනේ හොයා ගන්නෙත් ජී.පී.එස් තාක්ෂණය භාවිත කරලයි.මොවුන් සැඟවුණු අමුත්තා වගේ.මේක හරි නම් ඡන්ද දායකයන්ට කරන අගෞරවයක්.මේ රටේ ජනතාවගේ ස්වෛරීත්වය රඳා පවතින්නේ පාර්ලිමේන්තුවෙන්.
තමන් කැමති මන්ත්‍රීවරයෙක් තෝරන්න තමන්ට අයිතිය තිබෙනවා.තමන් කැමති පුද්ගලයෙක් ජනාධිපති කරන්නත් තමන්ට අයිතියක් තිබෙනවා.ඇස් බැඳලා ගිහින් ජනාධිපතිවරු තේරුවේ නැහැ.
අනුර දිසානායකට වැඩි ඡන්ද දෙන්නැයි ඉල්ලන්නට පුළුවන් නම් තමන්ගේ අපේක්ෂකයන්ට වැඩි ඡන්ද දෙන ලෙස බැරි ඇයි?
ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කිරීමයි.මේ අය කියන්නේ මොකක්ද? ජනතාවට ඡන්ද අයිතිය තියාගන්නා ලෙසත් මන්ත්‍රීවරුන් තේරීමේ අයිතිය ටිල්වින් සහෝදරයාට දෙන ලෙසත් ඉල්ලනවා.මේ නැති කරගන්නේ තමන්ගේ අයිතියයි. ඒකට ඉඩ දෙනවාද?ඔබගේ අයිතිය හොරකම් කරනවා නම් එතැනට සහයෝගය දෙන්නේ ඇයි?
මේ අය උත්සාහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්නයි.මේ රටේ සියයට පනස් අටක් පාර්ලිමේන්තුව ගැන විශ්වාසය තබා තිබෙනවා.ඔය සියයට හතළිස් දෙකෙනුත් සියයට විසි පහක් තිහක් ඉන්නේ පාර්ලිමේන්තුව සමඟයි.මේ ඡන්දය පාර්ලිමේන්තුව බේරා ගන්නා මැතිවරණයක් බව මා කිව යුතුයි.
පාර්ලිමේන්තු එනවා නම් වැඩසටහනක් තිබිය යුතුයි. මාලිමාව ඉදිරිපත් කර තිබෙන වැඩසටහන මොකක්ද?ඔවුන් විසින් පොරොන්දු ගණනාවක් ලබා දුන්නා.
එම පොරොන්දු වලින් ඉටුකර තිබෙන්නේ මොනවාද? ලබන අවුරුද්දේ ඉටු කරන්නට යන පොරොන්දු මොනවාද?බදු අඩු කරන බව කීවා. උපයන විට බදු සීමාව දෙලක්ෂය දක්වා ඉහළ නඟන බව කිව්වා.වැට් අඩු කරන බවත් සහනාධාර දෙන බවත් කිව්වා.තෙල් මිල අඩු කරන බව කිව්වා.
ඩීසල් මිල 160 කින් අඩු කළා ද?ඔවුන් කරලා තියෙන්නේ මොකක්ද?පළවෙනි අවුරුද්දේ කරන්න පුළුවන් මොනවාද?ඔවුන් ඉදිරිපත් කර තිබෙන වැඩසටහන ක්‍රියාත්මක කරන්න පුළුවන්ද?
මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව ඉදිරියට යනවා නම් මේ පොරොන්දු ඉටු කරන්නට බැහැ.ඒ ඇත්ත ජනතාවට කියන්න.අද ඔවුන් කිසිම දෙයක් නොකියා පාර්ලිමේන්තුව හොර ගුහාවක් යැයි කියමින් නිහඬ වී සිටිනවා.
මේක කියන්න බැරි නම් මොවුන් බොරුකාරයෝනේ.එන වසරේදී රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීම සඳහා මා මුදල් වෙන් කර තිබෙනවා.ඒකවත් කරන්න. පළමුවෙන්ම මේ බොරුවක් බවත් එවැනි තීරණයක් නැති බවත් කිව්වා.එයින් පසුව නිලධාරීන් අත්සන් කර නැතැයි කිව්වා. අප ඒ කාරණයත් ඔප්පු කළා.ඉන්පසුවක් කැබිනට් අනුමැතිය නැති බව කිව්වා .මා කැබිනට් වාර්තාවත් පෙන්නුවා.ඉන් පසුව මුදල් වෙන් කර නැති බව කිව්වා.මම මුදල් වෙන්කර තිබෙන ආකාරයත් පෙන්නුවා.දැන් තිබෙන්නේ මුදල් ලිපිගොනු ඇස්තමේන්තුව අරින්න පමණයි.
මේ මුදල් වලට මොනවද කරන්න යන්නේ. රජයේ සේවකයන් ඡන්දය ලබා දුන්නේ මේ අය විශ්වාස කරලයි.දැන් ඒ විශ්වාසය ආණ්ඩුවට තබාගන්න පුළුවන්ද?
විජිත හේරත් ඇමතිවරයා ඉන්නේ ගම්පහ.පඩි වැඩි කරනවාද උදය සෙනෙවිරත්න වාර්තාව ක්‍රියාත්මක කරනවාද කියා ඔහුගෙන් අහන්න.අඩුවෙන් දුන්නොත් අනෙක් සල්ලි යන්නේ කාගේ සාක්කුවටද කියා අහන්න.
දැන් වෘත්තීය සමිති නැති කරන බව කියනවා. අපගේ ව්‍යවස්ථාවේ වෘත්තීය සමිති ගෙන යන අයිතිය තිබෙනවා.
ඉස්සර අප දෙල්ගොඩ ක්‍රීඩාංගනයේ අවුරුදු සමයේ සැඟවුණු අමුත්තා හෙව්වා. දැන් සැඟවුණු අමුත්තන් හැමතැනම යනවා.ඉතින් මේ අයට ඡන්දය දෙන්න පුළුවන්ද?
අපට කාරණා දෙකක් කරන්න පුළුවන්.අප ආර්ථිකය 4.4ක වර්ධනයක් ඇතිකර තිබෙනවා.ඒ අගය සියයට පහක් දක්වා වර්ධනය කරන්න අපට පුළුවන්.
උපයන විට බද්ධ ගෙවන සීමාව ලක්ෂ දෙක කරන්න පුළුවන්දැයි අප මූල්‍ය අරමුදලෙන් විමසූ විට එය කළ නොහැකි බව ඔවුන් කිව්වා.නමුත් මාලිමාවේ අය එය කරන බවට මැතිවරණයේදී පොරොන්දුවක් දුන්නා.එක් ලක්ෂ පනස්දාහේ සීමාවට ගෙන එන්න නම් හැකියාවක් තිබෙනවා. 2026 දී ක්‍රමිකව ලක්ෂ දෙකක සීමාවට ගෙන එන්නට හැකියාව තිබෙනවා.
අනෙක රුපියල ශක්තිමත් කිරීමටත් රජයේ සේවකයන් සඳහා උදය සෙනෙවිරත්න වාර්තාව අනුව පඩි වැඩි කිරීමටත් අපට හැකියාව තිබෙනවා.
අප පාර්ලිමේන්තුව මෙන්ම පාර්ලිමේන්තුවේ මුදල් බලය ආරක්ෂා කරනවා.වෙන කිසිම පක්ෂයක් මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කර නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක රුවන් විජයවර්ධන මහතා:-
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක්.ඒ නිසා ඉදිරියේදී පාර්ලිමේන්තුව ගැන විශාල හිඩැසක් ඇති වෙන්නට යනවා.අද ඡන්දෙ ඉල්ලගෙන ආණ්ඩුවක් හදන්න එන්නේ පාර්ලිමේන්තුව බලහත්කාරයෙන් අල්ලගන්න හිටපු පිරිසක්.මේ අභියෝගයට අපට මුහුණ දෙන්නට තිබෙනවා.මේ රටේ සම්ප්‍රදාය මෙන්ම රටේ සංස්කෘතිය ගැන දැනීමක් නැති,මේ රටේ දේශපාලන වාතාවරණය හරියට දන්නේ නැති කණ්ඩායමක් දැන් රට පාලනය කරනවා.ඉදිරියේදී රටක් ලෙස මොන විදියේ අභියෝග වලට මුහුණ දෙන්න සිදුවේ දැයි ප්‍රශ්නයක් අපට තිබෙනවා.
දැන් මේ රටේ පාලකයන්ට ඩිමෙන්ෂියාව හැදිලද කියලා මට ප්‍රශ්නයක් තිබෙනවා.පසුගිය කාලයේ දුන් පොරොන්දු කිව්ව දේවල් අද වන විට අමතක වී තිබෙනවා.එවැනි පොරොන්දුවක් අප දුන්නේ නැතැයි දැන් කියනවා.උගන්ඩාවේ හංගා තිබෙන සල්ලි නැවත ගෙනෙනවා යැයි උගන්ඩා කුමාරි කී දේවල් අද ටිල්වින් සිල්වා ප්‍රතික්ෂේප කරනවා.
රජයේ සේවකයන්ගේ පඩි මාස හයෙන් හයට වැඩි කරන බව අනුර ජනාධිපතිවරයා එදා කිව්වා. එවැනි දෙයක් කිව්වෙ නැතැයි අද අනුර ජනාධිපතිවරයා කියනවා.ඔවුන් එදා මැතිවරණ වේදිකාවේ කියූ දේවල් බොරු බව ඔවුන් විසින්ම අද පිළිගනිමින් සිටිනවා යැයි රුවන් විජයවර්ධන මහතා කීය.
ගෑස් සිලින්ඩරය යටතේ තරඟ කරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයෝද මෙම ජන හමුවට වූහ.

What's your reaction?

Related Posts

1 of 357

Leave A Reply

Your email address will not be published. Required fields are marked *