ලංකා බැංකුව සිය සේවාවන් ප්‍රශස්ත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා තැපෑල සමඟ අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව, ලංකා බැංකුව තැපැල් කාර්යාල හරහා සිය බැංකු සේවා ව්‍යාප්තිය පුළුල් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා කැපැල සමඟ අත්වැල් බැඳ ගැනීම පසුගිය දා සිදු කෙරිණි. සමස්ත දිවයින ම ආවරණය වන පරිදි විහිදුණු තැපැල් කාර්යාල ජාලය සමඟ එක් වෙමින්, ලංකා බැංකුවේ සුවිශේෂී සේවාවන් ග්‍රාමීය ජනතාව අතරට ගෙන යාම මෙහි ප්‍රධානතම අරමුණ වන අතර, කැපැල් සහ උප තැපැල් කාර්යාල 100 ක් හරහා මෙම ක්‍රියාවලියේ සමාරම්භය සනිටුහන් විය.

මේ වෙනුවෙන් පැවති උත්සවයට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්‌ය නන්දලාල් වීරසිංහ, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දිපා ලියනගේ, කැපැල්පති රුවන් සත්කුමාර, ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා, මහා කළමනාකරු/ ප්‍රධාන විධායක නිලධාරි රසල් ෆොන්සේකා යන මහත්ම මහත්මිහු ප්‍රධාන නියෝජ්‍ය තැපැල්පතිවරු, ආයතන ද්විත්වයේ ජෙෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළු සම්භාවනීය අනුත්තෝ රැසක් සහභාගී වූ අතර, එහි දී ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා පැපැල යන ආයතන ද්විත්වය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබිණි.

ලංකා බැංකුව 2021 වසරේ දී ප්‍රථම වරට හඳුන්වා දුන් BOC Connect සේවාවට සමගාමීව මෙම ව්‍යාපෘතිය දියත් වන අතර, එහි දී ලංකා බැංකුව මෙරට තැපැල් හා උප තැපැල් කාර්යාල සමඟ එක් වෙමින්, මුදල් තැන්පතු, මුදල් ආපසු ගැනීම, බිල්පත් ගෙවීම සහ මුදල් මාරු කිරීම් වැනි ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා බැංකු අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දෙයි. මෙම ක්‍රියාවලිය හරහා ගනුදෙනුකරුවන්ගේ කාලය ඉතිරි කරමින්, අපහසුතාවකින් තොර ව ඔවුන්ගේ අවශ්‍යතාවට සරිලන බැංකු සේවා ලබා ගැනීමේ පහසුව ප්‍රවර්ධනය කිරීම ලංකා බැංකුවේ අරමුණයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා මහතා ප්‍රකාශ කළේ, “ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා තැපැල අතර ගොඩනැගුණු මෙම සහයෝගීතාව, ග්‍රාමීය ජනතාවගේ මූල්‍ය අවශ්‍යතා සඳහා බැංකු පහසු නම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ලංකා බැංකුව ක්‍රියාත්මක කරන වැඩ සටහන් මාලාවේ සංධිස්ථානයක් සනිටුහන් කරන බව පැවසිය යුතු ම යි. මෙහි දී ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වාසය දිනා සිටින ප්‍රමුඛතම ආයතන දෙකක මෙම එක් වීම හරහා කාර්යක්ෂම, ගුණාත්මක බවින් ඉහළ සහ විශ්වසනීය සේවාවක් සහ මූල්‍ය විසඳුම් ලබා දිය හැකි බවට සා තරයේ විශ්වාස කරනවා.” යනුවෙනි.

BOC Connect සේවාව හරහා ගනුදෙනු කරුවන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ OTP අංකයක් ලබා දීම යන ක්‍රමවේද දෙක ඔස්සේ ගනුදෙනුවල ආරක්ෂාව වැඩි කර ඇති අතර, මෙම සුරක්ෂිත බැංකු සේවාව සමඟ ඒකාබද්ධ වූ සේවාවක් කැපැල් හා උප තැපැල් කාර්යාල හරහා ලබා දීම තුළින්, ග්‍රාමීය ජනතාව ප්‍රධාන වැඩිහිටි, ආබාධික පුද්ගලයන් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් බැංකු සේවාවන් වෙත ආකර්ෂණය කර ගනිමින්, ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලබා දීම ලංකා බැංකුවේ අරමුණයි.

ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි රසල් සොන්සේකා මහතා මෙම සහයෝගීතාව පිළිබඳ ව අදහස් දක්වමින් පැවසුවේ,” තැපැල් හා උප තැපැල් කාර්යාල ජාලය සමඟ ඒකාබද්ධ ව ක්‍රියාත්මක කෙරෙන මෙම BOC Connect ව්‍යාපෘතිය හරහා නාගරික සහ ග්‍රාමීය මූල්‍ය පද්ධති තව දුරටත් පුළුල් කිරීම ලංකා බැංකුවේ ප්‍රධාන අරමුණක් බවත්, කුඩා ව්‍යාපාර සක්‍රිය කිරීම,

ප්‍රේෂණ සඳහා පහසුකම් සැලසීම වැනි සේවාවන් හරහා ජනතාවගේ එදිනෙදා මූල්‍ය කටයුතු පහසු කිරීම වෙනුවෙන් ප්‍රායෝගික හා වඩාත් පහසු සේවාවන් ලබා දීමට මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇති බවත් සඳහන් කළ යුතුමයි.”

විදේශ ප්‍රේෂණ මත යැපෙන පවුල් සඳහා අදාළ මුදල් ඉතා පහසුවෙන් කැපැල් කාර්යාලය හරහා ලබා ගැනීමේ හැකියාව මෙම සේවාව මඟින් ලැබෙන අතර, අදාළ සේවා කටයුතු සෙනසුරාදා දිනවල දී ලබා ගත හැකි වීම ද විශේෂිත වේ.

මෙම සහයෝගීතාව පිළිබඳ ව පැපැල්පති රුවන් සත්කුමාර මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසකි. ” ශ්‍රී ලාංකික ජනතාවට පහසුකම සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුව සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අපි ඇත්ත වශයෙන් ම සතුටු වෙනවා. සියලු ම ශ්‍රී ලාංකිකයින් වෙත සුරක්ෂිත, නවීන තාක්ෂණයෙන් සමන්විත, ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලබා දීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා.”

කැපැල් හා උප සැපැල් කාර්යාල 100 කින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය, ඉදිරියේ දී සමස්ත ශ්‍රී ලංකාව ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට ලංකා බැංකුව අරමුණු කරයි. 1939 වසරේ දී ආරම්භ කෙරුණු ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛකම මුල්‍ය ආයතනය ලෙස සිය ස්ථාවරත්වය අඛණ්ඩ පවත්වා ගැනීමට සමත් වී ඇති අතර, සිය ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලික හා ව්‍යාපාරික මූල්‍ය අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් පුළුල් මුල්‍ය සේවා රැසක් ලබා දෙයි. ලංකා බැංකුව, 1815 දක්වා දිවෙන ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා තැපෑල සමඟ එක් වීම ශ්‍රී ලාංකේය මුල්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් බව අවධාරණය කළ යුතුය.

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *