වනජීවී ඇමතිනි පවිත්‍රා නිකුත් කළ ගැසට් නිවේදනයක් බල රහිත කරමින් ගොනුකළ පෙත්සම විභාගයට ගැනීමට අවසර

මන්නාරම වෙඩිතලතී වූ රක්ෂිත වනාන්තර කලාපයෙන් කොටසක් රක්ෂිත භාවයෙන් මුදාහරිමින් වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) අවසර ලබා දුන්නා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 12 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ රක්ෂිත වනාන්තර කලාපයක් ලෙස නම්කර තිබෙන වෙඩිතලතී වූ රක්ෂිත කලාපයෙන් අක්කර දෙදහස් පන්සීයකට ආසන්න භූමි ප්‍රමාණයක් ඉස්සන් වගාවට යැයි සඳහන් කරමින් රක්ෂිත භාවයෙන් මුදා හැරීම සඳහා වනජීවී විෂය භාර අමාත්‍යවරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

එම ගැසට් නිවේදනය වනජීවි හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට පටහැණි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙම ක්‍රියාව නිසා අදාළ වනාන්තර කලාපයට පිවිසෙන සංක්‍රමණික පක්ෂීන්ට මෙන්ම ජල ජීවීන්ට ද විශාල අගතියක් සිදුවන බවත් සඳහන් කළා.

මේ හරහා ප්‍රදේශයේ ජෛව විවිධත්වයට ද දැඩි බලපෑමක් සිදුවන හෙයින් අදාළ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *